ඔබත් මේ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම සොයා බැලුවොත් පීනස රෝගය නිට්ටාවට සුව කරගන්න පුළුවන්

නාසය, උගුර, ස්වරාලය, ශ්වාසනාලය සහ නාලිකා, පෙණහලූ යන ඉන්ද්‍රියයන් ශ්වසන ව්‍යුහයට අයත්ය. ආයුර්වේද මතයට අනුව ශ්වසන ව්‍යුහගත රෝග ඇතිවීමට බලපාන්නේ සෙම් දෝෂයයි. ජීවිතයේ බාල කාලයේ සෙම් දෝෂය උල්බනව පවතින බැවින් එම කාලයේදී ශ්වසන රෝග ඇතිවීම බහුලය. ශ්වාස, කාස, ප්‍රතිශ්‍යා, පීනස, රාජයක්ෂ්මා ශවසන ව්‍යුහගත රෝග කිහිපයකි. මේ වර්තමානයේ බහුලව දක්නට ලැඛෙන රෝග තත්ත්වයක් වන පීනස පිළිබඳව අවධානය යොමු කරමු.

නාසයෙන් නිරන්තරයෙන් සොටු දියර ගැලීම, කිවිසුම් යාම, හිසෙහි බරගතිය වැනි ලක්ෂණ පෙරටු කරගත් මෙම රෝගය ස්ත්‍රී පුරුෂ භේදයකින් තෙරව, වයස් භේදයකින් තොරව සෑම කෙනෙකුටම පාහේ වැලඳිය හැකි රෝග තත්ත්වයක් ලෙස පීනස් රෝගය හැඳින්විය හැක. විශේෂයෙන් පාසල් යන වයසේ දරුවන් අතර මෙන්ම ළදරුවන් අතරද බහුලව ව්‍යාප්තව පවතින මෙම රෝගය කරදරකාරී රෝග තත්ත්වයකි. යමෙකුගේ නාසය වාතයෙන් වියළුණු සෙම් කොටස් වලින් බැඳී පවතීද නැතහොත් තෙත්ව පවතීද නැතහොත් දවන්නාක් බඳු දැනීමක් ඇතිවේද, ගඳ, සුවඳ මධුරාදී රස දැනීම නොමැති වේද එම රෝගය පීනස බව ආයුර්වේදයේ දැක්වේ.

පීනස් රෝගය පිළිබද කතා කිරීමට මත්තෙන් රෝගය ඇතිවිමට බලපාන හේතු පිළිබඳව මුලින්ම අවධානය යොමු කරමු. ආයුර්වේදයේ දැක්වෙන පරිදි බොහෝ රෝග වලට හේතු වන පරිදි ආමය පීනස සඳහා හේතු වේ. අග්නිමාන්ද්‍ය හෙයත් ගින්න මදකම හේතුවෙන් ආම අවස්ථාවක් හටගෙන රස ධාතු සහ රක්තය දූෂණ වීම නිසා පීනස හටගනී.

පාරම්පරිකවද පීනස හටගැනීමේ අවධානමක් පවතී. එනම් මව්පියන් හෝ ඊට කලින් පරම්පරාවේ සාමාජිකයන්ට පීනස, ඇදුම, හෝ කුෂ්ඨ රෝග පවතින අවස්ථා වලදී එවැනි අයගේ දරුවන්ට පීනස වැලඳීමේ ඉඩකඩ පවතී. ප්‍රතිශ්‍යාවට නිසි ප්‍රතිකාර නොයෙදීමෙන් මෙන්ම ප්‍රතිශ්‍යාව පවතින විට දිය නෑමෙන්ද පීනස හටගනී. මීට අමතරව දහවල් නින්ද, රාත්‍රී නිදි වැරීම, තද අව් රශ්මියට, පිනිදියට නිරාවරණය වීම ආදිය ද බලපායි.

අහිතකර ආහාර පාන පීනස සදහා බලපාන ප්‍රධාන හේතුවක් බව ආයුර්වේදයේ විග්‍රහ කොට ඇත. එනම් ශීත කළ ජලය, ශීත කළ ආහාර පාන, මෙන්ම උෂ්ණ ගුණින් යුතු ආහාර පාන වන ඉස්සෝ, දැල්ලෝ, බලමාළු, තක්කාලි, අච්චාරු ආදිය අධිකව අනුභව කිරීම නිසා වන අසාත්මිකතාවයද පීනස් රෝගය සඳහා ප්‍රධාන ලෙසම බලපායි.

විදුලි පංකා, වායු සමීකරණ, සහිත කාමර වල නිතර ගැවසීම, මෙන්ම සිතේ ඇතිවන කැලඹීම් හා මානසික හේතූන්ද පීනස ඇතිවීම සඳහා බලපාන බව දක්වා ඇත. මීට අමතරව අසාත්මිකතාවය පීනස සඳහා බලපාන ප්‍රධාන හේතුවක් බව ආයුර්වේදයේ මෙන්ම නව්‍ය වෛද්‍ය විද්‍යාවේද දක්වා ඇත.

උදා – ආශ්වාස ද්‍රව්‍ය – දූවිලි, මල්රේණු, සුවඳ විළවුන්
ස්පර්ශ ද්‍රව්‍ය – පැලෑටි, සත්තු, මල් ආදිය
හතික කාරක – උෂ්ණ, ශීත ද්‍රව්‍ය
පරපෝෂක ද්‍රව්‍ය – ජීවාණු
අධිග්‍රහණ ද්‍රව්‍ය – ආහාර, ඖෂධ

පීනස් රෝග ප්‍රභේද

දේශීය චිකිත්සාවේ පීනස් ප්‍රභේද 18 ක් දක්වා ඇත. එම ප්‍රභේද අතුරින් සෙම් පීනස, ප්‍රතිශ්‍යා පීනස, ගල් පීනස, ගඳ පීනස යන ප්‍රභේද සමාජයේ බහුලව දැකිය හැක.

පීනස් රෝග ලක්ෂණ

1. සෙම් පීනස

නිතර කිවිසුම් යාම , නාසයෙන් සොටු දියර ගැලීම. මෙම ලක්ෂණ උදෑසන අවදි වූ විගස, පිනිබෑම, ස්නානයෙන් පසු, අධික ශීත ආහාර පාන ලබා ගැනීමෙන් අනතුරුව සහ දුම්, දූවිලි, පරාග ආදී අසාත්මිකතා හේතුවෙන් බහුලව ඇතිවේ. හිස බරගතිය හා හිසරදය , හුස්ම ගැනීමේ අපහසුව , ඇස්, කණ්, නාසා ආශ්‍රිත කැසීම , උගුරේ සෙම බැඳීම

2. ප්‍රතිශ්‍යා පීනස

නාසයෙන් සොටු සමග සැරව පිටවීම , නාසයේ යමක් සිරවී ඇති බවක් දැනීම , නාසය දෙපස කළු වීම , ලේ රස සහ කුණු රසක් මුඛයට දැනීම , නාසයේ ගඳ බව , මෞඛ ශ්වසනය ,ඇසීම අඩුවීම , කණ් අගුළු වැටීම

3. ගල් පීනස

හිස ඉහලට එසවීමේදී සහ පහත් කිරීමේදී වේදනාව , නලලට සෙමින් තට්ටු කිරීමේදි වේදනාව , කිවිසුම් යාම , කරැකැවිල්ල , අධික හිසරදය
බොහෝ විට සොටු දියර ගැලීමක් නොමැත. කිවිසුම් යාම සහ නාසයෙන් සොටු දියර ගැලීම දවස පුරා පවතී නම්, දිගුකාලයක් පවතී නම්, පාරම්පරිකව පවතී නම් ඒවා අසාධ්‍ය ලක්ෂණ වේ. නමුත් රෝගියාගේ ඇවතුම් පැවතුම්, උනන්දුව ආදිය නිසි අයුරින් පවත්වා ගැනීම මගින් ප්‍රතිකාර අපහසු වුවද යම් තරමකට පාලනය කර ගත හැක.

පීනස පවතින රෝගීන්ට ප්‍රතිශ්‍යාව වැළඳුණු විට සෙසු පුද්ගලයන්ට වඩා අපහසුතාවයක් සිරුරට දැනේ. සෙම් දෝෂය අධික බැවින් අධික නිදිමත, සිරුරේ බර බව සහ අලස බව ඇති වේ.

පීනස් රෝගීන් අතුරින් සමහරෙකුට නාසයෙන් ලේ පිටවීමක් දැක ගක හැක. දේශීය චිකිත්සාවේ ලේ පීනස ලෙස හඳුන්වා ඇත්තේ එම අවස්ථාවයි. එමෙන්ම දූෂිත වූ සෙම පෙණහලූ කරා ගොස් ලය පීනස හටගනී.

පීනස් රෝග උපද්‍රව

මුල් අවස්ථාවේ පීනස් රෝග ලක්ෂණ පිළිබඳව නොසලකා හැරීම සහ ප්‍රතිකාර නොකර සිටීම හේතුවෙන් පසු කාලීනව දරුණු උපද්‍රව ඇතිවීමට ඉඩ ඇත. එසේ හටගත හැකි ප්‍රධාන උපද්‍රවයකි තමක ශ්වාසය හෙවත් ඇදුම රෝගය ය. එබැවින් පීනස පවතින විට ඒ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. මීට අමතරව හටගත හැකි උපද්‍රව ලෙස හිස කෙස් සුදුවීම හා ගැලවී යාම, විදුරුමස් පැසවීම හා දියවීම, විදුරුමසින් ලේ ගැලීම, මුඛය හා නාසයේ දුර්ගන්ධය, නාසයේ මස් දළු හටගැනීම, කර්ණ ප්‍රදාහය, ඇතැම් අවස්ථා වල දිගුකාලීනය පවතින කැස්ස මෙන්ම පෙණහලූ වල ආසාදන තත්ත්වද හටගත හැක.

පීනස් රෝග ප්‍රතිකාර

පීනස් රෝගය විවිධ හේතූන් මත හටගත හැකි විවිධ රෝග ලක්ෂණ වලින් යුක්ත වූ රෝගයක් බැවින් පොදු ප්‍රතිකාර පන්තියක් දැක්වීම අපහසුය. ඇතැම් රෝගීන්ට මෙම රෝගය වෙනත් රෝග හා අනුබන්ධවී පවතිනු දැකගත හැක. දෝෂ තත්ත්වය අනුව ප්‍රතිකාර කළ යුතු රෝග තත්ත්වයක් වන පීනස රෝගය සුවකිරීම සඳහා ප්‍රත්‍යක්ෂ ආයුරුවේද ප්‍රතිකාර පවතී. අභ්‍යන්තර ඖෂධ මෙන්ම බාහිර ප්‍රතිකාර පවතී. පංචකර්ම ප්‍රතිකාර අතුරින් නස්‍ය ප්‍රතිකාරය මේ සඳහා ඉතා සුදුසු වේ. පීනස රෝගයේදී නස්‍ය කර්මය යොදන්නේ කල්ගත වූ අවස්ථාවේ පමණි. නව පීනසට නස්‍ය කර්ම යොදනු නොලැබේ. මීට අමතරව ස්නේහ ( තෙල් ගෑම ), ස්වේද ( වාෂ්ප ඇල්ලීම), ඖෂධීය ධූමපාන, ගණ්ඩූෂ ධාරණ ආදියද මේ සඳහා යෝග්‍ය බව ආයුර්වේදයේ දක්වා ඇත.

මීට අමතරව රෝගයෙන් වැළකී සිටිම සඳහා පහත ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීම උචිතය.

රාත්‍රී නිදි වැරීමෙන් හා දිවා නින්දෙන් වැළකීම.
දුම්, දූවිලි අසාමික කාරක වලින් ඈත්වීම.
සවස් කාලයේ සහ ශීත දේශගුණයක් පවතින විට දිය නෑමෙන් වැළකීම.
ශීත කළ ආහාර පාන වළින් හැකිතාක් ඈත් වීම.

Source Link : Wishma Lokaya

Leave a Reply

Your email address will not be published. Required fields are marked *