කිරිවෙහෙර මහානාහිමියන්ට වෙඩි තැබූ සාහසිකයන් පිළිබද තොරතුරු හෙළිවේ ඔවුන් ආ ජීප් රථය සොයාගනී. හිමිනම දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි

වෙඩි ප්‍රහාරයකට ලක්ව හම්බන්තොට මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කතරගම – කිරිවෙහෙර රජමහා විහාරාධිපති, පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මගින් කොළඹට රැගෙන ඒමට තීරණය කර තිබෙනවා.

මේ අතර, මෙම වෙඩි තැබීම කතරගම – මහසෙන් දේවාලයේ අයිතිය සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් මුල් කර ගනිමින් සිදුව ඇති බවයි දැනට සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.

එමෙන්ම වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් ද මේ වන විට හඳුනාගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ නාහිමියන් සහ විහාරවාසී පූජ්‍ය වීදාපොල සෝභිත හිමියන්, ආගමික වතාවත්වල නිරත වී කිරිවෙහෙර උඩ මළුවේ සිට වැඩම කරමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කිරිවෙහෙර නාහිමියන් සහ අනෙක් හිමි නම දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහරෝහල වෙත මාරු කර යැවුණා.

හම්බන්තොට රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ධනුෂ්ක පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ නාහිමියන්ගේ උදර ප්‍රදේශයට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බවයි.

මීට අමතරව වම් අතට සහ දකුණු පාදයට තුවාල සිදුව තිබෙනවා.

රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කිරීමෙන් පසුව නාහිමියන්ට ශල්‍යකර්මයක් ද සිදුකර ඇති අතර කෙසේ නමුත් වැඩිදුර ප්‍රතිකාර සඳහා උන්වහන්සේ ගුවන් මගින් කොළඹට රැගෙන ඒමට කටයුතු කරමින් සිටින බවයි රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ.

පහත මළුවේ සැඟව සිටි නාඳුනන පුද්ගලයින් තුන්දෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර කිරිවෙහෙර ආසන්නයේ නවතා තිබූ රතු පැහැති ජීප් රථයක නැගී පළා ගොස් තිබෙනවා.

වෙඩි තැබීම සඳහා ඔවුන් පැමිණි යූ.පී. සී.ඒ.ජී. 8531 දරණ සුඛෝපභෝගී ජීප් රථය කතරගම පුද බිම ආසන්නයේ දමා ගොස් තිබියදී සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් ඇතුළු සෙසු පුද්ගලයින් හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 8ක් මේ වන විටත් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කතරගම – කිරිවෙහෙර රජමහා විහාරයේ විහාරවාසී පූජ්‍ය තලගල ඥානේන්ද්‍ර හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මහසෙන් මහදේවාලයේ ප්‍රධාන කපු මහතා වන මහේෂ් බණ්ඩාර සහ ඔහුගේ පවුලේ ඥාතීන් විසින් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවට සැක පළ කරන බවයි





ඡායාරූප – සූරියවැව නුවන් ජයසේකර

 

Source Link : ආටිකල් 14.news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *