දෙවෙනි ඉනිමට අවසානය ගැන අනුහස්ගෙන් ඉගියක්

ගායනයෙන් රංගනයට පිවිසුනත් මේ දවස්වල රවින් වැඩිපුර කතා වෙන්නේ දෙවෙනි ඉනිමේ අනුහස් කියන චරිතය හරහා. කොටින්ම කිව්වොත් මේ දවස්වල ගෑනු ළමයින්ගේ හීන කුමාරයා වෙලා තියෙන්නේ රවින්.. ඉතින් රංගනයයි ගායනයයි කඩවසම් පෙනුමයි එක්ක මේ දවස්වල ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන රවීන් අපිට කිව්වේ මෙහෙම.
රවින් දෙවෙනි ඉනිමට සම්බන්ධ වෙන්නේ කොහොමද ?

ඒක ඇත්තටම අහම්බයක්. අපේ ලක්සිරි වික්‍රමගේ මහත්මයා සහ සාරංග මෙන්ඩිස් අධ්‍යක්ෂකතුමන් විසින් එකතු වෙලා කතා කරද්දී මාව මේකට නිර්දේශ වෙලා තියෙනවා.

මම එහෙම ඊට කලින් රඟපාලා තිබුණ කෙනෙකුත් නෙවෙයි. මම එහෙම කැමරාවක් ඉස්සරහ රඟපාලා නැහැ. ඒත් මට ඒක භාර දුන්නා. මාර බයකින් තමයි මම භාර ගත්තේ. මම වැඩේ ඉගෙන ගනිමින් කරගෙන ඉස්සරහට යනවා.

අනුහස්ගේ චරිතයට අවතීර්ණ වෙන එක පහසු වුණා ද ?

මෙහෙමයි අනුහස්ගෙයි රවින්ගෙයි සමානකම් 80%ක් විතර තියෙනවා. මමත් කාගේවත් හිත නොරිද්දා තමන්ගේ පාඩුවේ ඉන්න කැමති මනුස්සයෙක්. පොඩි දේකදිත් මාර විදියට මටත් කේන්ති යනවා.

හැබැයි ඉක්මනට නිවෙනවා. ඒ වගේ සමානකම් තිබ්බා. සමහර වෙලාවට මට රඟපාන්න දෙයක් තිබුණේ නැහැ. මට මාව පෙන්වීමක් වගේ දෙයක් තිබුණේ. ඒ වගේම දෙවෙනි ඉනිම රඟපෑම මට අමතක නොවෙන අත්දැකීමක්.

පාසල් කාලයේදී රංගනය කරලා තියෙනවද ?

මම ස්කොලේ ගියේ කුලියාපිටිය සෙන්ට්‍රල් එකට. ස්කොලේ කාලේ මම දැන් ඉන්න විදියට සම්පූර්ණ විරුද්ධ පැත්ත. ස්කොලේ යන කාලේ මම කොමර්ස් කළේ. ඒ කාලේ දී ස්කොලේ වේදිකාවකවත් එහෙම ලොකුවට රඟපාපු කෙනෙක් නෙවෙයි මම. අර නිකම් සමිතිවල දී නම් මිස් ලාගේ ගුටිවලින් බේරන්න වගේ පොඩියට එක එක ඒවා රඟපාලා තියෙනවා.

මේ දවස්වල ගෑනු ළමයින්ගේ ප්‍රතිචාර සැහෙන්න වැඩියි නේද ?

ගෑනු ළමයින්ගෙන් විතරක් නෙවෙයි ඉතින්. ගෑනු පිරිමි බාල මහළු ඔක්කොම එක වගේ ආදරෙයි අනුහස්ට. ඒක එහෙම වෙන්න ඇති. දන්නේ නැහැ කොහොමද කියලා. ෆේස්බුක් නම් වැඩි හරියක් කමෙන්ට් කරන්නේ නම් ගෑනු ළමයි තමයි ඉතින්.

ගායනයයි රංගනයටයි අමතරව ඊළඟ පියවර මොකක් වෙයි ද ?

ඊළඟ පියවර මේ හැම දෙකින්ම අයින් වෙන එක වෙයි ද දන්නෙත් නැහැ. ඇත්තටම මට මේ ජීවිතේ ටිකක් අමාරුයි. මම කලින් මෙහෙම ජීවත් වුණ කෙනෙක් නෙවෙයි. මම මගේ පාඩුවේ ජීවිතේ ගෙවන්න කැමති කෙනෙක්.

මම කැමති මගේම කියලා දෙයක් ආරම්භ කරගෙන ඉන්න. හැබැයි කලා ලෝකෙන් මන් අයින් වෙන්නේ නැහැ. මම දිගටම කලා ලෝකේ ඉන්නවා.

සමන් එදිරිමුණිගේ පිටපත නේද රවීන් මෙතැනට ගෙනාවේ ?

ඇත්තටම සමන් අයියා තමයි මේ අපිට මේ අලකලංචිය කළේ. ඔහු මේ ඔක්කොටම වග කියන්න ඕනි කෙනා. ඔහු තමයි මේ සේරම මේ විදියට ලියන්නේ. සමන් එදිරිමුණි වගේ පපු රිදෙන විදියට ලියන්න පුළුවන් පුද්ගලයෙක් මම උපන්දා සිට දැක්කාමයි.

එතකොට දෙවෙනි ඉනිම අවසන් ටෙලි නාට්‍ය ද ?

මේක ගොඩක් දුරට මගේ පළවෙනි සහ අවසන් ටෙලි නාට්‍ය වෙයි.ආයේ ටෙලි නාට්‍යයක් නම් කරන්න මගේ අදහසක් නෑ.. එකක් කරාම ඇතිනේ. මොකද මම වෘත්තිමය වශයෙන් කලා ලෝකේ රැඳෙන්න කැමති කෙනෙක් නෙවේ නේ.

මම ටෙලි නාට්‍යයක් කළා. අත්දැකීමක් ගත්තා. දැන් ඒ ඇති. ඊළඟට මම කළොත් කරන්නේ චිත්‍රපටයක් තමයි ඉතින්.

ආර්යන්ස් සංගීත කණ්ඩායම මඟ නැවතිලා ද එතකොට ?

ආර්යන්ස් සංගීත කණ්ඩායමත් තාවකාලිකව නතර කරන්න වෙලා තියෙනවා මගේ කාර්යබහුලකම නිසාවෙන්.

හැබැයි මං මේ මොන දේ කළත් කොහේ ගියත් අන්තිමට ගිහින් නවතින්නේ මියුසික්වලින්. මම ආයේම දවසක ආර්යන්ස් එක්ක වැඩ පටන් ගන්නවා. ඒ වගේම අලුතින් සින්දුවක් කරන්නත් ඕනි.

දැන් සංගීත ක්ෂේත්‍රයේ යන පැත්තට මම ආස නැහැ. දැන් නම් ටිකක් සංක්‍රාන්ති සමයක් තියෙන්නේ.

තාරුණ්‍යයේ ඉන්න කෙනෙක් විදියට තාරුණ්‍යට තමන්ගේ දෙයක් කරලා ඉදිරියට ඒමේ ඉඩක් වර්තමානයේ තියෙනවා කියලා රවින් හිතනවද ?

තාරුණ්‍ය තමයි වෙනස් වෙන ලෝකෙත් එක්ක අනුවර්තනය වේවී අලුත් දේවල් හොයාගෙන ඉස්සරහට යන්නේ. හැබැයි තාරුණ්‍ය කියලා හොඳ නරක දෙකම බදාගන්නේ නැතිව හොඳ දේවල් ටිකක් විතරක් කරන්න ඕනි.

අනාගතයේ එන්න තියෙන දේවල් වැඩිහිටියෝ වුණත් දැනුවත් වෙන්නේ තාරුණ්‍ය හරහා . ඒ නිසා හරි දේවල් තෝරා බේරා ගෙන අපෙන් පසු අයට ආදර්ශයක් වෙන විදියට ඉන්න ඕනි තරුණ පරම්පරාව.

හැබැයි තාරුණ්‍යට තමන්ගේම කියලා හැකියාවකින් ඉස්සරහට එන එක දැන් කාලේ පට්ට අපහසුයි වගේම. ඉදිරියට එන්න තියෙන ඉඩකඩ මාර අඩුයි. ඒ තරගකාරිත්වය ජය ගන්න නම් බොහෝ දේවල් කැප කරන්න වෙන සිස්ටම් එකක් දැන් තියෙන්නේ. ඒක වෙනස් විය යුතුයි.

රවින්ට හිත ගිය ගෑනු ළමයෙක් එහෙම ඉන්නවද?

හිත ගිය ගෑනු ළමයින් නම් ඉන්නවා ඉතින්. හිත ගිය ගෑනු ළමයින් කියන්නේ මුළු හිතින් ම කැමති වුණ කෙනෙක් අනුමත කර ගත්තාම කියන්නම් ඉතින්. දැනට එහෙම නිශ්චිත යමක් කියන්න අමාරුයි.

Source Link : Gossip Lanka News & Video

Leave a Reply

Your email address will not be published. Required fields are marked *