වෙලාවක් කලාවක් නැතුව හැදෙන හිසරුදාවට හොදම බෙහෙත මෙන්න

ඔලුවේ කැක්කුම, එහෙමත් නැත්නම් හිසරුදාව කියන්නේ මිනිසුන් අතර ඉතාම බහුල රෝගී තත්වයක්. ජිවිතේ කවරදාකමවත් හිසරුදාවක් හැදිලා නැති කෙනෙකු නම් ඉන්න බැහැ. මේක ඒ තරම්ම මිනිසුන් අතර සුලභ දෙයක්. හිසරුදා වර්ග අති විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඕනවට වඩා කල්පනා කිරීම වැනි සරලතම හේතුවක සිට භයානක ආඝාත වැනි රෝගවල ලක්ෂණයක් ලෙසින්ද හිසරුදාව පැමිණෙන්න පුළුවන්.

එසේ වඩාත් බහුල හිසරුදා තත්ත්ව කිහිපයක් ගැන මේ ලිපිය තුලින් ඔබව දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ හිසරුදා වලට හේතු වන දේත්, ඒවා හැදුනම කරන්න ඕන දේ ගැනත් ඔබට මේ ලිපිය තුලින් දැනගන්නට පුළුවන් වේවි.

ආතති හිසරුදාව (Tension Headache)

මෙම හිසරුදා වර්ගය තමයි අද සමාජයේ බහුලවම දැක ගැනීමට තියෙන්නේ. මේක කොතරම් සුලබද කිව්වොත් මෙම වර්ගයේ හිසරුදාවක් සමාජයේ ජිවත් වෙන සෑම කෙනෙක්ටම වගේ ජිවිතේ එක වරක් හෝ හැදිලා තියෙනවා.

ලක්ෂණ – තරමක වේදනාවක් සහිතයි. නළලේ තදින් පටියක් බැඳ තිබෙන්නාක් ලෙස දැනෙන මේ වේදනාව හවස් යාමෙට වැඩි වෙන්න පුළුවන්.

හේතු – අධික ආතතිය, මහන්සිය සහ හිස පැත්තට හරවා වැරදි ඉරියවුවෙන් සිටීම වැනි හේතු නිසා මෙය ඇතිවෙන්න පුළුවන්.මෙම වර්ගයේ හිසරුදා කෙටිකාලීනයි. නමුත් හිසට හෝ බෙල්ලට සිදු වුනු යම් තුවාලයක් හෝ හානියක් නිසා දිගුකාලීනව පැවතෙන මෙවැනි තත්වයන් ද තිබෙන්නට පුළුවන්.

ප්‍රතිකාරය – මෙවැන්නක් සමනය කරගැනීම සඳහා වේදනා නාශක ඖෂද වර්ගයක් භාවිතා කරන්න පුළුවන්.

එත්, වේදනා නාශක නිතර භාවිතය එතරම් හොඳ නැහැ. නිතර නිතර වේදනාව හටගන්නේ නම් හෝ වේදනාව සමනය නොවී බොහෝ වේලාවක් තිබෙන්නේ නම්, හොඳම දේ වෛද්‍යවරයෙකු හම්බ වෙන එකයි

එසේම එක තැනකටම වෙලා සිටින්නේ නැතුව, ශාරීරික ක්‍රියාකාරීකම් වල යෙදීමත් වැදගත්. තවද, උරහිස සහ බෙල්ලට දිනපතාම ව්‍යායාම කිරීමත්, එළිමහනෙහි වැඩිපුර කාලය ගත කිරීමත් මේ වර්ගයේ හිසරුදා සඳහා ප්‍රතිඵලදායකයි.

සයිනස් හිසරුදාව (Sinus Headache)

සයිනුසයිටිස් (Sinusitis) නම් රෝග තත්වය නිසා මෙම හිසරුදා වර්ගය ඇති වේ. එනිසා, බොහෝ වේලාවට උණ ගැනීමත් සමග, මුහුණ ඉදිමීම සහ කම්මුල් අවට හා නළලෙහි යම් වේදනාවක් ඇතිවිය හැකියි.

ලක්ෂණ – නළලෙත්, ඇහි බැමි සහ ඇස් වලට යටිනුත් තද කරනවාක් වැනි වේදනාවක් ආ හැකිය. හිස වැරෙන් සොලවන විට මේ වේදනාව වැඩි වේ. එමෙන්ම සොටු දියර ගැලීම, නාසය සිරවීම සහ අධික මහන්සියක් දැනීමත් මෙම හිසරුදාවේ ලක්ෂණ වේ.

හේතු – මෙම හිසරුදාව සයිනුසයිටිස් නම් රෝග තත්වයේ ප්‍රතිඵලයක්. ඒ වගේම හෙම්බිරිස්සාවේ සහ ආසත්මිකතාවන් වල සංකූලතාවයක් ලෙසත් මෙය පැමිණිය හැකියි.

ප්‍රතිකාරය – කලාතුරකින් ඉබේම හොඳ වෙලා යා හැකිය. යම් ආසත්මිකතාවක් නිසා ඇති වුනේ නම් ඇන්ටි-හිස්ටමින් (Antihistamine) කියන බෙහෙත් වර්ගයක් භාවිතා කළ යුතුයි. එත්, හොඳම දේ වෛද්‍යවරයෙකු හමු වීමයි. එවිට ඔහු විසින් සුදුසු ප්‍රතිජීවක ඖෂධයක් දෙනු ඇත.

මිග්රේන් (Migraine)

ලක්ෂණ – මිග්රේන් වල රෝග ලක්ෂණ විශාල ගණනක් තිබෙනවා. හිස පුපුරු ගහන තරම් වේදනාවක් සමග නොරුස්සනා ගතිය, අධික වෙහෙස, වැඩි වූ හෝ අඩු වූ ආහාර රුචිය මෙන්ම ආලෝකයට සංවේදී වීම, කිචි කැවීම, හිරි වැටීම සහ කතා කිරීමට අපහසු වීමත් සිදු විය හැකියි.

හේතු – මොළයේ රුධිර නාල පළල වීමත්, පරිවෘතිය ක්‍රියාවල යාමනය නිසි පරිදි සිදු නොවීමත් නිසා ඇති වන්නට පුළුවන්.

ප්‍රතිකාරය – වේදනාව සමනය කිරීම හැරෙන්නට මිග්රේන් නිට්ටාවටම සුව කරන ප්‍රතිකාරයක් දැනට සොයාගෙන නැහැ. මිග්රේන් තිබෙන අයකු වෛද්‍යවරයෙකු හමු වී සුදුසු බෙහෙතක් ලබාගන්න පුළුවන්. ඒ වගේම ශාරීරික ක්‍රියාකාරකම් සිදු කිරීමත් මිග්රේන් සඳහා යෝග්‍යයි.

පොකුරු හිසරුදාව (Cluster Headache)

මෙම වර්ගයේ හිසරුදා ඉතාම දුලභයි. සාමානයෙන් මෙය හැදෙන්නෙත් ජනගහනයෙන් 1% කට වගේ පිරිසකට. ඒවගේම මෙය වඩා වහුල වන්නේ පිරිමි පාර්ශවය තුලයි.

ලක්ෂණ – මේ හිසරුදාව නිසා හිසේ පැත්තක හෝ පිටුපස හෝ ඇස් වටා තදින් අනින ආකාරයේ වේදනාවක් ඇති වේ. එසේම ඇස් රතු වීම, ආලෝකයට සංවේදී වීම සහ කඳුළු ඒමත් ඇතිවෙන්න පුළුවන්. හිසරුදාව හට ගත් කල,වේදනාව බොහෝ විට විනාඩි 15 සිට පැයක කාලයක් දක්වා තිබෙන්නට පුළුවන්.

හේතු – නිසි හේතුවක් සොයාගෙන නැතත්, ශරීරයේ තිබෙන ජෛව ඔරලෝසුවේ සිදුවන අක්‍රමිකතා නිසා ඇති විය හැකි බවට සැක පළ වී තිබේ.

ප්‍රතිකාරය – වරින් වර ඇතිවීම සහ නැතිවීම නිසා පොකුරු හිසරදයට ප්‍රතිකාරයක් කිරීම අපහසු වන්නට පුළුවන්. ඒ නිසා පොකුරු හිසරදයට සුදුසු බෙහෙතක් ගැනීම සඳහා වෛද්‍යවරයෙකු හමු වීමට සිදු වෙනවා.

වෙරිමතින් පසු ඇතිවන හිසරුදාව (Hangover)

හේතු – ඇතැම් අයට මධ්‍යසාර පානයෙන් පසු හිසරුදා ඇතිවන අවස්ථා තිබේ. මධ්‍යසාර නිසා රුධිර නාලිකා විස්තාරණය වීම සහ සිරුරේ ඇති සෙරටොනින් (Serotonin) ප්‍රමාණය වෙනස් වීම නිසා මෙම හිසරදය ඇති වේ.

එමෙන්ම මෙයට බලපාන තවත් හේතුවක් ලෙස මධ්‍යසාර මගින් ඇති කරන විජලන තත්වයද දක්වන්න පුළුවන්. මෙම විජලන තත්වය මිග්රෙන් සඳහා ද හේතුකාරකයක් වනවා.

ප්‍රතිකාරය – මෙය වළක්වා ගැනීම සඳහා හැකිතාක් ජලය පානය කිරීමත්, වේදනානාශක ගැනීම සහ හොඳින් නිදා ගැනීමත් කළ යුතුය. සුළුකොට නොතැකිය යුතු මෙම හිසරදය මිග්රේන් වල පෙර නිමිත්තක් ද වන්නට පුළුවන්.

වයස් භේදයකින් තොරව හැමෝටම වදදෙන හිසේරුදව පහසුවෙන්ම සුවකරගන්න හැටි මිතුරන්ටත් දැනගන්න Share කරන්න.

Source Link : Wishma Lokaya

Leave a Reply

Your email address will not be published. Required fields are marked *