ආත්‍රයිටිස්‌ රෝගය සුව කරන ගන්න බිං කොහොඹ ශාකයෙන් හදන විශ්මිත කසායක්

ප්‍රශ්නය – කුඩා දරුවන්ට හැදෙන ආත්‍රයිටිස්‌ රෝගය සඳහා සුදුසු ශාකසාරමය ආයුර්වේද ප්‍රතිකාර ගැන අප පසුගිය සතියේදී සාකච්ඡා කළා. අද ඒ ගැන තවදුරටත් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා.

වෛද්‍ය වසන්ත උදයජීව – කුඩා දරුවන්ට හැදෙන ආත්‍රයිටිස්‌ රෝගයට ප්‍රතිකාර කරන විට ආයුර්වේද වෛද්‍යවරුන් මුලින්ම කරන්නේ රෝගයට බලපාන ශාරීරික තත්ත්වයන්ට ප්‍රතිකාර කර ඒවායින් ශරීරය නිදහස්‌ කර ගැනීමයි. ආයුර්වේදයට අනුව අපේ ශරීරයේ සෞඛ්‍ය සම්පත්තිය, සුවතාව, ලෙඩ රෝගවලට භාජන වීමේ හැකියාව යන කාරණා පාලනය වන්නේ ප්‍රධාන දොaෂ තත්ත්ව හතරක්‌ මගිනුයි. එයින් වාත දොaෂය පැනනැංගාම ආත්‍රයිටිස්‌ හටගන්නවා. මේ තත්ත්වය තුළදී සිරුර තුළ ආමය නමැති විෂ සහිත දෙයක්‌ හටගන්නවා. මේ නිසා ආහාර ජීරණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් බිඳවැටෙනවා. ආමය ජනිත වුණාම මුළු මහත් ශරීරය පුරාම ගමන් කරනවා.

ඊළඟට ශරීරයේ දුර්වල තැන්වල තැන්පත් වෙනවා. මේ අතර ශරීරය තුළ තිබෙන වාත දොaෂ තත්ත්වය ක්‍රියාත්මක වෙනවා. එතකොට ආමය ක්‍රියාත්මක වී වැඩිදියුණු වෙන්නට පටන් ගන්නවා. සන්ධි වේදනාව හටගන්නේ මෙසේ ආමය වැඩිදියුණු වීමට පටන් ගත් විටයි. සාමාන්‍යයෙන් ඇඟිලි සන්ධිවල හටගන්නා ආත්‍රයිටිස්‌ තත්ත්වයට වඩා පාදයේ සන්ධිවල හටගන්නා ආත්‍රයිටිස්‌ තත්ත්වය දරුණුයි. හේතුව එම සන්ධිවලට ශරීරයේ බර සම්පූර්ණ වශයෙන්ම වැටීමයි. මේ නිසා ආත්‍රයිටිස්‌ රෝගයට ප්‍රතිකාර කරන විට ශරීරයේ වාත තත්ත්වය සමබර කිරීමට ආයුර්වේද වෛද්‍යවරයා උත්සුක වෙනවා.

ප්‍රශ්නය – ආත්‍රයිටිස්‌ රෝගයට ප්‍රතිකාර කිරීමේදී මෙයින් ඔබ්බේ යමක්‌ සිදුවන්නේ නැද්ද?

වෛද්‍ය උදයජීව – ස්‌ථිර වශයෙන්ම සිදුවෙනවා. මුලින්ම ශරීරයේ රුධිර වහනය සිදුවන සියලු නහර පිරිසිදු කෙරෙනවා. ඊළඟට ආහාර ජීරණය ශක්‌තිමත් තත්ත්වයකට පත් කරනවා. තුන්වෙනුව සන්ධිවල ලිහිසි තත්ත්වය වර්ධනය කර සන්ධි එහා මෙහා කිරීමේ පහසුව ඇති කරනවා. ස්‌නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය සමතුලිත කරනවා.

ප්‍රශ්නය – ආත්‍රයිටිස්‌ රෝගය සමනය කර ගැනීම සඳහා දැන් අප අත් බෙහෙත් කිහිපයක්‌ බලාපොරොත්තු වෙනවා.

වෛද්‍ය වසන්ත උදයජීව – ඖෂධ කිහිපයක්‌ම තිබෙනවා. අබ තෙල් කෝප්ප 1 ක්‌ අරගෙන එයට කපුරු (කපුරු බෝල නොවේ) ග්‍රෑම් 10 ක්‌ මිශ්‍ර කර කපුරු සම්පූර්ණයෙන්ම දියවන තුරු තෙල් රත් කරන්න. තෙල් ඇල් මැරුණු පසු ආත්‍රයිටිස්‌ නිසා ඉදිමුණ සන්ධි සියල්ල එම තෙල් වලින් ඉතා හොඳින් සම්බාහනය කරන්න. මෙවිට සන්ධිවල දැඩි බව සහ ඉදිමුම නැතිව යනවා.

ඊළඟ ඖෂධය මුං ඇට සහ සුදුලූනු ඇසුරින් නිපදවන එකක්‌. මුං ඇට මේස හැඳි 3 ක්‌ වතුර මිලිලීටර් 250 ක දමා රැයක්‌ එළිවනතුරු පොඟවා ගන්න. පසු දින මුං ඇටවල අංකුර ඇදුණු පසු සුදුලූනු බික්‌ දෙකක්‌ අඹරා මුංඇට සමග මිශ්‍ර කරන්න. එයට ලුණු සහ ගම්මිරිස්‌ එකතු කර උදේටත් සවසටත් ආහාරයට ගන්න. මුංඇට පිසීමෙන් වළකින්න. සතියක්‌ පමණ මෙම ප්‍රතිකාරය කර ප්‍රතිඵල භුක්‌ති විඳින්න.

මේ වාගේම උසස්‌ ප්‍රතිඵල ගෙන දෙන තවත් බෙහෙතක්‌ කියන්නම්. මේ සඳහා ඉඟුරු කුඩු ග්‍රෑම් 50 ක්‌, උළුහාල් කුඩු ග්‍රෑම් 50 ක්‌ සහ කහ කුඩු ග්‍රෑම් 50 ක්‌ අවශ්‍යයි. මේ සියල්ල හොඳින් මිශ්‍ර කර අසුරනයකට දමා සුළං නොයන සේ හොඳින් වසා තබාගෙන සෑම උදයකම සහ සවසකම තේ හැන්දක්‌ බැගින් අනුභව කරන්න. කුඩු ගතිය නිසා කෑම අපහසු නම් උණුවතුර ස්‌වල්පයක්‌ මිශ්‍ර කර ආහාරයට ගන්න.

උදේට සහ හවසට තල අහුරක්‌ බැගින් දිගටම අනුභව කළ හැකිනම්, ආත්‍රයිටිස්‌ රෝගයට එයත් හොඳ ප්‍රතිකාරයක්‌.

ආත්‍රයිටිස්‌ රෝගයට බිං කොහොඹ

බිං කොහොඹ, කොහොඹ පොතු, එලබටු, කටුවැල්බටු, කොටිල පොතු, ලුණවරණ පොතු, අමු ඉඟුරු, දියමිත්ත යනාදිය කලං 1 මංචාඩි 10 බැගින් ගෙන වතුර පත 8 කට දමා පත 1 ට සිඳවා පෙරා උදේ සවස පත භාගය බැගින් බොන්න. පානය කළයුතු කාලය දින 6 කි.

Source Link : Wishma Lokaya

වයසට යාම ප්‍රමාද කර සම තිරිහන් කරන ආහාර වර්ග 10ක්

මාළු
ඔමේගා 3 මේද අම්ල වලින් පෝසත් සැමන් , සාඩින් , ටුනා , මැකරල් වැනි මාළු වර්ග අනුභවය තරුණ සමක් පවත්වා ගැනීම සදහා අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම සමේ ඇදෙන සුළු බව හා තෙතමනය නිසි ලෙස පවත්වා ගැනීම ඔමේගා 3 මේද අම්ල මගින් සිදු කරනවා. ඒ වගේම මෙම මාළු ආහාරයට ගැනීමෙන් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ඉතාම වැදගත් වන ප්‍රතිඔක්සිකාරක ශරීරයට එකතු කර ගැනීමට පුළුවන්. තවද නිරෝගී සමකට ඉතා වැදගත් වන විටමින් E හා තුවාල ඉක්මණින් සුව වීම සදහා වැදගත් ඛනිජ ලවණයක් වන සින්ක්ද මෙවැනි මාළු වර්ග හරහා ශරීරයට ලැබීම සිදු වෙනවා.

ඇට වර්ගඅප ඉහත සදහන් කරපු මාළු වර්ග වල වගේම ඇට වර්ග තුලද ඔමේගා 3 මේද අම්ල , සින්ක් හා විටමින් E යහමින් අඩංගු වෙනවා. ඊට අමතරව සම තරුණව හා දිදුලන ගතියකින් පවත්වා ගැනීම සදහා උදව් වෙන , B වර්ගයේ විටමින් , ෆොලේට් , සේලේනියම් හා විටමින් C වැනි වැදගත් පෝෂණ සංගටකද ඇට වර්ග තුල අඩංගුයි. ඔබට දිනපතා වෝල් නට්ස් ආහාරයට ගැනීමට හැකි නම් වඩා උසස් ප්‍රතිපල ලබා ගත හැකි අතර ආමන්ඩ් හා කජු වැනි ඇට වර්ග අනුභවය තුලින්ද ඉහල ප්‍රතිපල ලබා ගත හැකියි.

අලිගැටපේර
ඉතාම රසවත් පළතුරක් වෙන මෙහි ශරීරයට හිතකර මේදය යහමින් අඩංගු වෙනවා. ඒ වගේම සමේ ඇදෙන සුළු භාවය හා තෙතමනය ප්‍රශස්ත අගයකින් පවත්වා ගැනීමද අලිගැටපේර අනුභවය මගින් සිදු කර ගන්නට පුළුවන්. තවද අලිගැටපේර තුල අඩංගු වන කැරොටිනොයිඩ් මගින් අධික සුර්යා ලෝකයෙන් ඔබේ සම ආරක්ෂා කිරීම සිදු කරනවා. අලිගැටපේර වයසට යාම ප්‍රමාද කරන ආහාර ලැයිස්තුවේ 3 වන ස්ථානය දිනා ගැනීමට තවත් විශේෂ හේතුවක් තිබෙනවා. ඒ තමයි සමේ කොලජන් නිෂ්පාධනය වේගවත් කරන බලගතු පෝෂණ සංගටක රාශියක් අලිගැටපේර තුල අන්තර්ගත වීම.

හරිත තේ
ලොව පුරා බොහෝ මිනිසුන් ප්‍රමාණයකගේ ප්‍රියතම පානයක් වන හරිත තේ රසවත් පානයක් මෙන්ම ඔබේ සමේ සෞඛ්‍යයටද ඉතාම සුවදායකයි. හරිත තේ තුල අඩංගු වන පොලිෆීනෝල්ස් සහ කැෆ්‍රීන් නමැති ප්‍රතිඔක්සිකාරකය මගින් හිරු කිරණින් සමට සිදුවන හානි වලකා සැමදා ඔබේ සම තරුණව පවත්වා ගැනීම සිදු කරනවා.

යෝගට් හා මුදවපු කිරි
යෝගට් හා මුදවන ලද මී කිරි , එළු කිරි වැනි ආහාර වර්ග තුල සජීවි ප්‍රෝබයෝටික් අඩංගුයි. මෙම ප්‍රෝ බයෝටික් වර්ග මගින් සම අවපැහැ ගැන්වීම් , පලුදු වීම් , එල්ලා වැටීම් හා කුරුලෑ ආසාධන මර්ධනය කිරීම සිදු කරනවා. ඒ වගේම යෝගට් හා මුදවන ලද කිරි වර්ග තුල අඩංගු හිතකර බැක්ටීරියා මගින් ශරීරයේ බොහෝ ප්‍රදාහමය තත්වයන් සමනය කිරීමද සිදු කරනවා. මෙවැනි ප්‍රදාහමය තත්වයන් තමයි අකලට සම වියපත් වීම ඇතුළු බොහෝ සමේ ප්‍රශ්න වලට මුල සාධකය වන්නේ.තවද සම තිරිහන් කිරීම සදහා ඔබට යෝගට් ඍජුවම මුහුණේ ආලේප කරන්නටත් පුළුවන්. යෝගට් තුල අඩංගු වන ලැක්ටික් අම්ලය සතුව සම තිරිහන් කිරීමේ හා නැවුම් භාවයට පත් කිරීමේ හැකියාව පවතිනවා. මෙමගින් වයසට යාමත් සමග සමේ ඇදුණු රැලි වැටීම් මකා දමා සමට දිදුලන තරුණ පෙනුමක් එකතු කිරීම සිදු කරනවා.

මී පැණි
මී පැණි කියන්නේ ස්වාභාවික බැක්ටීරියා නාශකයක් , ප්‍රතිඔක්සිකාරකයක් හා සමේ තෙතමනය නිසි අයුරින් පවත්වා ගෙන යන හොද තෙතමනකාරකයක්. මෙම නිසා මී පැණි සතු සම තිරිහන් කිරීමේ බලය ගැන අප පුදුම විය යුතු නැහැ. ඍජුවම මී පැණි මුහුණේ ආලේප කිරීම මගින් මෙන්ම සීනි හා වෙනත් පැණි රසකාරක වෙනුවට මී පැණි ආහාරයට ගැනීම මගින්ද සොබාදහමේ විශ්මිත ආහාරයක් වන මී පැණි සතු ගුණය සමට ලබා ගැනීමට පුළුවන්

බ්ලු බෙරිස්
මිහිමත පවතින බොහෝ බේරී වර්ග මිනිස් සෞඛ්‍යට ඉතාම ගුණදායකයි. නමුත් ලොව පවතින සියලුම බේරී වර්ග අතරින් බ්ලු බෙරිස් වලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. එයට හේතුව නම් බලු බෙරිස් තුල අඩංගු වන බලගතු ස්වාභාවික ප්‍රතිඔක්සිකාරක මගින් සමට හානිකරන නිදහස් අණු සමග සටන් කර ඒවා විනාශ කර දැමීමයි. නිදහස් අණු විනාශයෙන් නොනැවතී මෙම ප්‍රතිඔක්සිකාරක මගින් සමට සිදු වූ හානිය ගණන් බලා ඒවා නැවත වේගයෙන් අලුත්වැඩියා කිරීමද සිදු කරනවා. ඒ වගේම මෙහි අඩංගු ඇන්තෝ – සයිනින්ස් මගින් සමේ කොලජන් නිෂ්පාධනය ස්ථාවර කිරීමද සිදු කරනවා. ඉතින් ඔබ නිතර බ්ලු බෙරිස් අනුභව කරනවා නම් සැමදා තරුණ සමක් පවත්වා ගැනීම අපහසු කරුණක් වන්නේ නෑ.

දොඩම්
දොඩම් සම තිරිහන් කරන ආහාර ලැයිස්තුවට ඇතුළත් වීමට හේතු 2ක් තියෙනවා. ඒවා නම් දොඩම් තුල අඩංගු වන ඉහළ විටමින් C ප්‍රතිශතය හා ඉහල ජල සාන්ද්‍රණයයි. ජලය මගින් සම සජලනය කර ඇතුළතින් බිදීයාම වලකන අතර විටමින් C මගින් කොලජන් නිෂ්පාධනය උත්තේජනය කිරීමක් සිදු කරනවා.ස්ථාවර කොලජන් සැපයුමක් මගින් සමේ ඇදෙන සුළු භාවය වර්ධනය කර සම රැළි වැටීම් හා එල්ලා වැටීම් අවම කරනවා. දිනපතා දොඩම් විදුරුවක් පානය කිරීමට ඔබට හැකි නම් බොහෝ කාලයක් ගත වන තුරු තරුණ අයෙකු සේ ජිවත් වන්නට පුළුවන්.

දෙළුම්
දොඩම් වගේම දෙළුම් තුලත් සමට හිතකර විටමින් C ඉහල ප්‍රතිශතයක් අඩංගු වෙනවා. ඒ වගේම තමයි දෙළුම් සතුව බලගතු පිළිකා නාශක හැකියාවක් හා බැක්ටීරියා නාශක හැකියාවක්ද පවතිනවා. දෙළුම් තුල අඩංගු වන පියුනිකැලැජින් නමැති පෝෂණ සංගටකය මගින් කොලජන් නිෂ්පධානය වේගවත් කිරීම සිදු කරන අතර දෙළුම් තුල අඩංගු අනෙකුත් පෝෂණ සංගටක මගින් කොලජන් බිදීයාම අවම කිරීම සිදු කරනවා. මේ සියල්ලේ අවසාන ප්‍රතිපලය ලෙස සම විශ්මිත ලෙස තිරිහන් වීම ආරම්භ වෙනවා

තක්කාලි
තක්කාලි කියන්නේ හොද විටමින් C ප්‍රභවයක්. ඒ වගේම තමයි තක්කාලි තුල ලයිසොපේන් , ලුටින් , ඇල්ෆා කැරොටින් හා බීටා කැරොටින් වැනි ප්‍රධාන කැරොටිනොයිඩ් වර්ගද අන්තර්ගත වෙනවා. මෙවැනි ප්‍රතිඔක්සිකාරක බලයෙන් යුතු කැරොටිනොයිඩ් වර්ග මගින් සමට හිරුකිරණින් වන හානිය වලකන අතර සම රැළි වැටීම අවම කරනවා. තක්කාලි අමුවෙන් ආහාරයට ගැනීම වෙනුවට ඔලිව් තෙල් යොදා සුළු පිසගනිමක් කොට අනුභව කිරීම මගින් තක්කාලි සතු පෝෂණ ගුණය වඩා හොදින් ශරීරයට එකතු කර ගැනීමට පුළුවන්.

Source Link : Wishma Lokaya

දියවැඩියාව නිට්ටාවටම සුව කරන්න පුළුවන් – මහවිල වෙදැදුරු සෙනරත් ජයසූරිය බණ්ඩාර වෙද මහතා

අද ලෝකයේ බොහෝ දෙනා ගොදුරු වන බෝ නොවන රෝග අතරින් එකකි දියවැඩියාව. සුව කළ නොහැකි ව්‍යාධියක් ලෙස ලොවම හඳුනාගෙන ඇති මෙය දේශීය වෛද්‍ය කර්මයෙන් නිට්ටාවට සුව කළ හැකි බව ඇහැලියගොඩ වෙදාරච්චි පරපුරේ තුන්වැනි පුරුක ලෙස හැඳින්වෙන යටියන්තොට මහවිල වෙද මහතා පවසයි.

දියවැඩියාව කොයි කාටත් හැදුණාම
මුත්‍රා පිටකරයි රෑටත් නිතරෝම
තොල කට වියළි නිදිමත එයි හැමදාම
සුව කර ගන්න රෝගය නොවරදවාම

මෙසේ අප හා පැවසුවේ යටියන්තොට මහවිල වෙදැදුරු යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන හේ. මු. සෙනරත් ජයසූරිය බණ්ඩාර වෙද මහතාය. ඔහු එසේ කියමින් කළු පැහැ, රිදියෙන් වැඩ දැමූ වක් ගැසුණු යමක් මේසය මත තැබීය. ඒ තේමිස් වෙදආරච්චි වෙද ආතාගෙන් සෙනෙවිරත්න වෙද බණ්ඩාර පියාටත් පසුව තමන්ටත් උරුම වූ මීහරක් අඟින් තැනූ බෙහෙත් හෙප්පුවයි

ඉස්සර නම් අපේ වෙද පරම්පරාවේ සිරිත දකුණ‘තේ වෙදැඟිල්ලේ නියපොත්ත වවන එක. ලෙඩා පරීක්ෂා කරලා අදාළ බෙහෙත මේ හෙප්පුවෙන් ගන්නේ ඒ නියපොත්තේ උදව්වෙන්. අපේ විශේෂත්වය සර්වාංග වෙදකම. ඒ කාලේ දියවැඩියාව ලෙඩුන් මේ වගේ හිටියේ නෑනේ. ඇහැලේපොළ පරම්පරාවේ හේරත් මුදියන්සේලාගේ රාජකීය වෙද පරපුරෙන් තමයි අපි පැවත එන්නේ. මේ හෙප්පුවට අවුරුදු 1000ක් විතර වෙනවා. පුස් කොළ පොතුත් එහෙමයි.

එසේ කියූ මහවිල වෙද මහතා සිංහල වෙදකම ඇති වූ ආකාරයේ ඉතිහාසය පිළිබඳද අපට පැවසුවේය

“අවුරුදු 3000කට පෙර වෛදික යුගයේ තමයි අපේ සිංහල වෙදකම ඇති වුණේ. ඊට පෙර ගම්මානවල මිනිසුන් ලෙඩදුක්වලින් පීඩා වින්දා. ඒ කාලේ බ්‍රාහ්මණයන් කහ වස්ත්‍රයෙන් සැරසී බවුන් වඩමින් ඉඳ තිබෙනවා ගස් ගල් ආදිය මත. මිනිසුන්ගේ මේ දුක් වේදනා දුටු බ්‍රාහ්මණයන්ගෙන් 54 දෙනකු හිමාලයට ඍද්ධි බලයෙන් ගොස් සාකච්ඡා පවත්වා ඉන් සිවු දෙනකු මහා බ්‍රහ්මයා හමුවීමට පිටත්ව තිබෙනවා. භරතවද්, දක්ෂ ප්‍රජාපතී ගෝතමී, අස්විනි කුමාරවරුන් දෙදෙනා මෙසේ පළමුව ගොස් ඇත්තේ ශක්‍ර දෙවියන්ගේ මාර්ගයෙන් මහාබ්‍රහ්මයා හමුවීමටයි. එහිදී ඉන්ද්‍ර දේවතාවා හමුවී භරතවද් සහ අස්විනි කුමාරවරුන් කතාබහේ යෙදෙමින් ප්‍රමාද වෙද්දී, ප්‍රජපතී ගෝතමී කෙළින්ම ශක්‍ර භවනට ගොස් මිනිසුන්ගේ දුක පවසා ඔසු ගැන විමසා තිබෙනවා. ඒ වන විට ඔසු පිළිබඳ කිසි අදහසක් නොතිබූ මහා බ්‍රහ්මයා ස්වයං භූ ඥානයෙන් ඒ පිළිබද කීමෙන් පසු ඔසු පහළ වුණාලු! ආපසු පැමිණි බ්‍රාහ්මණයන් ඉතිරි අය සමඟ ලෝකයේ කොටස්වලට මේ ඔසු දැනුම ලබා දීමට බෙදී ගියාලු. ඉන්දියාව හිමි වී තිබුණේ අගස්තිට ලංකාව හිමිවුණේ පුලස්තිට

පුලස්ති ඍෂිගේ පුතා බෙහෙත් කළේ නෑ. ඒත් මුණුපුරු රාවණ වෙදකම් කළා. රාවණ රජුගේ ගෝලයා තමයි බුදුරජාණන්වහන්සේටත් බෙහෙත් කළ කෞමාරභච්ඡ ජීවක පඬිතුමා. ඒ පරම්පරාවේ ශල්‍යකර්ම හා වෙදකම් දුටු ගැමුණු, පණ්ඩුකාභය සහ බුද්ධදාස රජු දක්වා විහිදුණා. ඒවා අපට අහිමි වුණේ විවිධ ආක්‍රමණවලින් පසුවයි. ඒත් 1931 ආයුර්වේද පනතින් පසු යළිත් අපේ වෙදකම් තරමක් හිස ඔසවා තිබෙනවා. දේශීය රෝහල් 82ක් පමණ තිබෙනවා. ඒත් ඒ එකකවත් ‘මිනී කාමර‘ නෑ. ඒකයි අපේ වෙනස.

දේශීය වෙදකමේ අගය එසේ පැවසූ මහවිල වෙද මහතා ඉන් පසු අපට පැහැදිලි කළේ දියවැඩියාව හෙවත් මධුමේහය ඇති වීමට බලපාන හේතුන්ය

“දියවැඩියාව හැදෙන්න හේතු 7ක් බලපානවා. එක: පරම්පරාවෙන් පරම්පරාවට එන ජාන නිසා, දෙක: කෘත්‍රිම ආහාර, ජාන තාක්ෂණයෙන් හැදූ ආහාර වැඩිපුර පරිභෝජනය නිසා, තුන: මළ- මූත්‍ර වේග දරා සිටීම, හතර: බටහිර හා දේශීය ඖෂධ මාත්‍රාව ඉක්මවා භාවිත කිරීම, පහ: අධික තරබාරුව හෙවත් ස්ථුලතාව. මෙය ඇති වන්නේ නැවුම් ආහාර නිතර වැඩිපුර ගැනීමෙන් පෝෂණය වැඩි වීම නිසයි. හය: මානසික ආතතිය. සඵල කරගත නොහැකි ඉලක්ක ගැන ඇතිවන අනවශ්‍ය සිතිවිලි නිසා තමයි සියයට 90ක් දෙනාට දියවැඩියාව ඇති වන්නේ. අවසාන වශයෙන් කම්පනයත් දියවැඩියාවට හේතුවක්.“

කම්පනයෙන් දියවැඩියාව ක්ෂණිකව ඇති වූ අයුරු තහවුරු කිරීමට ඔහු උදාහරණයක් ද සැපයීය.

“මීට අවුරුදු දෙකකට පමණ කලින් මා ළඟට ආවා සීනි මට්ටම තුන්සිය ගාණකට වැඩිවෙලා කියාගෙන ලෙඩෙක්. ඔහු දැක්කාම සාමාන්‍යයෙන් හොඳ ශරීර පෙනුමක් තිබුණා. පසුව විමසද්දී දැනගත්තේ, ඔහු ගුවන් නියමුවෙක්. දිනක් ඉහළ අහසේ මඟීන් රැගෙන යද්දී ඉන්ධන අවසන් බව දැන ගන්න ලැබිලා. කොහොම හරි යානය ගොඩ බස්වා ගත්තත්, ඒ වෙලාවේ තැති ගත් තරමට ඔහුට කම්පනයක් ඇති වෙලා. වෛද්‍ය පර්යේෂණයේදී අධික දියවැඩියා තත්ත්වයක් තිබෙනවා කියලා ඔහු රැකියාවෙනුත් ඉවත් කරලා. හැබැයි කලින් එහෙම ලෙඩක් තිබුණ කෙනෙක් නෙවේ. පසුව අපෙන් ප්‍රතිකාර කර සුව වුණා.“

මේ ආකාර 7ට ඇති වන දියවැඩියා වර්ග ගැනද වෙදමහතා පැවසුවේය

“අපේ ක්‍රමයට දිය වැඩියා වර්ග 20ක් තිබෙනවා. ඉන් 16ක්ම නිට්ටාවටම සුව කරන්න පුළුවන්. හැබැයි හතරක් නම් සුව කරන්න බෑ.“ එසේ කී ඔහු දියවැඩියා වර්ග පිළිබඳ විස්තර කළේ මෙසේය

“ඔය වර්ග විස්සෙන් 10ක් හට ගන්නේ සෙම කෝප වීමෙන්. ඒවා උදක මේහය, ඉක්ෂු මේහය, සාන්ද්‍ර මේහය, සුරාමේහය ආදි වශයෙන් හඳුන්වනවා. ප්‍රමේහය කියන්නේ අපේ සිරුරට නරක දෙයක් ඇතුළු වුණොත් ඇති වන තත්ත්වයක්. නිදසුනක් හැටියට අපේ මූත්‍ර කහ පාටට යනවා නම් එහි තේරුම තමයි අපට ගෞරිමේහය ඇති බව. ඒ කියන්නේ අපේ ඇඟේ රත්රන් ටික මූත්‍ර සමඟ පිට වෙනවා. එය ගණන් නොගෙන මාස හය හතක් හිටියොත් මධුමේහයට හැරෙනවා

ඒ වගේම පිත කෝපයෙන් දියවැඩියා වර්ග 6ක් ඇති වෙනවා. ඒවා නීලමේහ, ක්ෂාර මේහ, කාල මේහ, හරිද්‍රාමේහ ආදි නම්වලින් හඳුන්වනවා

නිදසුනක් හැටියට සීතමේහ කියන්නේ මූත්‍රා දහ පාළොස් වතාවක් සීතලට පිටවීම. එයත් ගණන් නොගෙන ටික කාලයක් සිටීමෙන් දියවැඩියාවට හැරෙනවා

මේ රෝග 16ම සුව කළ හැකි පාරම්පරික ඖෂධයක් අප ළඟ තිබෙනවා. ඒත් වාතය කෝප වීමෙන් ඇති වන වාසාවේගය, මජ්ඣමේහය, හස්තිමේහය සහ ශෞද්‍රමේහ මාස හය හතක් තිබිලා මධු මේහය බවට පත් වුණොත් කිසිම විදිහකින් හොඳ කරන්න බෑ

ඒ වගේම රෝගියාගේ ස්ත්‍රීපුරුෂභාවය, ප්‍රතිශක්තීකරණය, වයස‍ ආදිය සමඟත් රෝගයේ ස්වභාවය, සුව වන්නට ගතවන කාලය ආදිය වෙනස් වනවා. කිව යුතු අනෙක් වැදගත්ම කාරණය තමයි බෝ නොවන රෝග ඇති වන්නේ තමන් පෙර කළ කුසලාකුසල කර්ම අනුවයි. ඒ නිසා බොහෝ සෙයින් අකුසල් කළ අයටත් සුව කළ නොහැකි රෝග වැලඳෙනවා.“

කෑම පාලනය මේ රෝගයට බෙහෙත් කිරීමේදී ඉතා වැදගත්ය. ඒ පිළිබඳ මහවිල වෙද මහතා උපදෙස් දුන්නේ මෙසේය‍

සුදු සම්බා, සුදු කැකුළු සහ සියලුම විදේශීය සහල් වර්ග, ෆ්‍රයිඩ් රයිස්, බිරියානි, රටකජු, කොස් ඇට, වට්ටක්කා, බටානා, බීට්රූට්, සියලුම අල වර්ග, හරක් මස්, ඌරු මස්, එළු මස්, ගෝනමස්, ඉස්සෝ, දැල්ලෝ, ටින් මාලු, පාන්පිටිවලින් නිෂ්පාදිත සියලුම ආහාර වර්ග, සියලුම කිරිපිටි වර්ග, අයිස්ක්‍රීම් වර්ග, යෝගට් වර්ග, චීස්, බටර්, මාගරින්, සීනි, හකුරු, රටඉඳි, බිස්කට්, කේක්, පැණිබීම, වටලප්පන්, මිදුණු කිරිවර්ග, පාම් තෙල්, එළවළු තෙල්, මේදය සහිත ආහාර, අඹ, අන්නාසි, රඹුටන්, දූරියන්, කිලෝපේර, කෝලිකුට්ටු, ආනමාළු, ඇම්බුන්, සීනි කෙසෙල්, කෘත්‍රිම රසකාරක අඩංගු ආහාර, ක්ෂණික ආහාර සහ ජාන තාක්ෂණයෙන් සැදූ ආහාර අපේ බෙහෙත් සමඟ ගැනීම හොඳ නෑ. සමහරු බෙහෙත් ගන්න ගමන් මේ දේවල් කාලා ලෙඩේ වැඩි කරගෙන අමාරුවේ වැටෙනවා. කට පරෙස්සම් කරගැනීම හැම දේටම වඩා වටිනවා. අපේ බෙහෙත් ගන්න ගමන් එහෙම පැවතිලා නිට්ටාවටම සුව වූ අය දහස් ගණනක් ඉන්නවා.

සුවවූවන් අතරින් කිහිප දෙනකු සම්බන්ධ කරගැනීමට අපටද හැකි විය. කුසුම් මල්දෙනිය මහත්මිය අප සමඟ වෙද මහතාගේ බෙහෙත්වල ගුණය පැවසුවේ මෙලෙසිනි

“මට ෂූගර් හැදිලා අවරුදු තුනක් විතර හිටියා. ඉංග්‍රීසි බෙහෙත් කාලයක් ගත්තා. ඒ අතරේ අපි අඳුරන අවුරුදු 14ක දරුවෙක්ට සීනි කියලා මේ වෙද මහත්මයා ළඟට ගෙනියලා හොඳටම හොඳ වුණා. ඉතින් මමත් ගියා. සීනි තිබෙද්දී අතපය රිදෙනවා, කලන්තේ වගේ හරි අමාරුයි. මට 280ට සීනි තියෙද්දී ගියේ. වාර 4ක් බේත් ගත්තා දැන් මට ඒ කිසි අමාරුවක් නෑ. සීනි මට්ටම 77 වෙලා. හැබැයි එහෙම වෙන්නේ අපි වෙද මහත්තයා කියන විදිහට පාවිච්චි වුණොත් තමයි.“

පොළොන්නරුවේ සම්පත් ප්‍රියන්ත මහතාද මෙසේ නිට්ටාවට සුවය ලැබූවෙකි

“මට 2010දි විතර තමයි සීනි හැදුණේ. 220 තිබුණු මට්ටම අන්තිමේදී 480ත් පැන්නා. කිලෝ 80ට හිටි මගේ බර 58ක් වුණා. කොච්චර බෙහෙත් ගත්තත් හොඳ වුණේ නෑ. ඇඟපත රිදෙනවා, කේන්ති යනවා, ඇස් පේන්නැතුව යනවා, අතපය හිරි වැටෙනවා, තව කියන්න බැරි ප්‍රශ්නත් තිබුණා. හරිම අමාරුයි. පස්සේ වෙද මහත්තයා ගැන විස්තරයක් දැකලා බෙහෙත් ගන්න ගියා. මාස 4ක් බේත් ගද්දී ඇඟ පුෂ්ටිමත් වෙලා අමාරුකම් නැතිව ගියා. වෙද මහත්තයා කියන ක්‍රමයටම හිටියාම ඉක්මනින් සුව වෙනවා. ඊට පස්සේ බේත් ඇඟෙන් ඉවත් කරන විදිහත් මට කියලා දුන්නා. දැන් අවරුදු 6ක් විතර මට හොඳයි. ඒත් හිතේ බයට තාම කරවිල එහෙම හොඳට කනවා. වනේ වන හතුරෙකුටවත් හැදෙන්න එපා මේ ලෙඩේ නම්. ඇත්තෙන්ම මේ ගැන කියලා දෙන එකත් ලොකු පිනක්. සෙවයක්.“

බෙලිඅත්ත, කුඩාහින්නේ ජේ.බී.ඒ. ජයසිරි මහතා අපට විශේෂ වූයේ ඔහු සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ අයකු නිසාය. අනෙක් අය කියූ රෝග ලක්ෂණ සියල්ලෙන් ඔහු දැඩි සේ පීඩාවට ලක් වී සිටි බවද පවසමින් මෙසේ කීවේය

“මම අවරුදු 8ක් විතර දියවැඩියාවෙන් පෙළුණා. ඔය කියන අමාරුකම් මදිවට තිස්සේම මූත්‍රා කරන්න ඕනා. මමත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ නිසා විටමින් අඩු ඇති කියලා ඒවත් ගත්තා. මට සීනි 130 පනිද්දි හොඳටම අමාරු වෙනවා. කිලෝ 12ක් විතර බරත් අඩු වුණා. සෑහෙන්න දුක් වින්දා. ඒ අතරේ 2016 අප්‍රේල්වල මේ වෙද මහත්මයා ගැන වැඩසටහනක් දැකලා මම කතා කළාම විස්තර අහලා මාස 6න් සුව කරන්නම් කීවා. හැබැයි කෑමට සුදුසු නුසුදුසු දේවල් ලැයිස්තුවක් දුන්නා. ඉංග්‍රීසි බෙහෙත බොන අතරේ තමයි මට වෙද මහත්තයාගේ බෙහෙත් දුන්නේ. දවස් 20න් 20ට සීනි මට්ටම මනින්න කීවා. ටිකෙන් ටික ඉංග්‍රීසි පෙත්ත අඩු කළා. වෙද මහත්තයාගේ බෙහෙතුත් දවසක් ඇර දවසක් වගේ අඩු කරලා දවස් 10ට වරක් වගේ ගන්න කීවා. දැන් මට සුවයි. අතපය හිරිවැටෙන්නේ නෑ. අපේ පැත්තේ කිරි කනවා හරියට. ඉතින් සීනි පැණි කැවෙනවා. හැබැයි දෙවියන්ගේ පිහිටෙන් මට කියන්නත් ලෝබයි දැන් ඒ අමාරුකම් නෑ. මම දන්නවා මේවාට විරුද්ධව කතා කරන සමහරු හොරෙන් වෙද මහත්තයා ගාවට යනවා කියලත්. ඇත්තෙන්ම මේ වගේ වෙදැදුරන් අපි ආරක්ෂා කරන්න ඕනා. අනෙක හතු පිපෙන්නා වගේ එන සමහර වෙදුන් ඉංග්‍රීසි පෙති කුඩු කරලා කොළවර්ග කලවම් කරලා දෙනවා. අපිට ඒ රහ අඳුනන්න පුළුවන්. ඒත් මේ බෙහෙත් එහෙම නෑ කියලා මට හොඳටම විශ්වාසෙන් කියන්න පුළුවන්.“

මහවිල වෙද මහතාද පැවසූවේ ඔහු අපේම කැලෑවලින් බෙහෙත් වර්ග සොයා ගන්නා බවයි. එහිදී මහා බ්‍රහ්මයාට පින් දී ඒ බෙහෙත් පැළෑටි නෙලා ගත යුතු බවද ඔහුගේ මතයයි. ඔහුගේ ඖෂධවලින් සිදුවන්නේ අග්න්‍යාශයේ වැසුණු කපාට යළි විවර කරමින් ස්වාභාවිකව ඉන්සියුලින් ශරීරයේ නිපදවෙන්නට අවශ්‍ය පරිසරය යළි ගොඩ නැඟීම බවද විස්තර සහිතව ඔහු අපට කියා දුන්නේ සෞඛ්‍ය පාඩමක් මෙනි. එවිට දියවැඩියාව නිසා හට ගන්නා පාදයේ තුවාල ආදිය ඉබේම සුව වන බවද ඔහු තර්කානුකූලව පෙන්වා දුන්නේය. කෂාය ආදි සිංහල බෙහෙත් වැඩිපුර සිරුරට එක්වීම නිසා වකුගඩු ප්‍රශ්න මතුවේදැයි අප නැඟූ පැනයට ඔහුගේ පිළිතුර වූයේ මෙයයි

“බත්-වෑංජන කන්න ගත්ත දවසේ ඉඳන් අපි සිංහල බේත් තමයි කන්නේ. සූදුරු, මහදුරු, කොත්තමල්ලි, කහ, ඉඟුරු,ගම්මිරිස්, කරපිංචා කියන්නේ මොනවාද? සුද්දා ඒවායේ සංයුතියෙන් එක වර්ගයක් අරගෙන පෙත්ත හදලා දුන්නම අපි ගිලිනවා. එතකොට වකුගඩු දිය වෙන්නේ නැද්ද? අපි සමස්තය අරගෙන වර්ග ගොඩක් එක්කයි බෙහෙත් දෙන්නේ. සිංහල බෙහෙතෙන් අතුරු ආබාධ එන්නේ නැත්තේ සංයුතිය වැඩි නිසයි.

දියවැඩියා රෝගයට ගොදුරු නොවීමට මධ්‍යම ප්‍රතිපදාවට අනුව ආහාර ව්‍යායාම ආදිය ගත යුතු බව කී යටියන්තොට මහවිල වෙද මහතා ඒ සඳහා පහසුවෙන් කළ හැකි අත්බේතක් ද කීවේ සිළුමිණ පාඨකයන්ගේ හිතේත් ගතේත් සුවය පිණිසය

“දියවැඩියාව සියයට 90ක් හැදෙන්නේ මානසික ප්‍රශ්න නිසා. අනෙක ග්ලූකෝස් අඩංගු ආහාර වැඩිපුර ගැනීමත් සෙම් රෝග නිසාත් දියවැඩියාව වැඩි වෙන්න පුළුවන්. අවුරුදු 10ට වැඩි ඕනෑම කෙනෙක් හැමදාම උදේට කැකිරි යුෂ අඬු කෝප්ප බාගයක් බොනවා නම් ජීවිතේ කවදාවත් දියවැඩියාව හැදෙන්නේ නෑ. ඒ වගේම කරපිංචා කොළ යුෂ කෝප්පයක් බැගින් සතියට දෙවරක් බීවොත් රුධිර නාළවල, අක්මාවේ තෙල් ඉවත්වෙලා, ලේ සුද්දවෙලා, මළ හොඳින් පහවෙලා, චර්ම රෝග සුව වෙලා, විෂ නසනවා. අනෙක පුළුවන් තරම් කොළ මැල්ලුම් හැම වේලකටම ගන්න. තේ වෙනුවට රණවරා මල් ටිකක් බොන්න. ගැමි ආහාරවලට පුළුවන් තරම් හුරු වෙන්න. සැම එළවළු වර්ගයක්ම පොදුවේ කන්න. රෝගියකුට කෑම නොදුන්නොත් හොඳටම සෞඛ්‍යය පිරිහෙනවා. අපේ වෙදකම කරන්නේ හොඳට බඩ පිරෙන්න කන්න දීලයි. මම කියන්නේ දියවැඩියාව නිට්ටාවට හොඳ කරන්න පුළුවන්.

ලිපි මුලාශ්‍රය – සිළුමිණ

Source Link : Wishma Lokaya

ශරීරයේ හානි වූ ඉන්ද්‍රියයන් නැවත පිළිසකර කරන එළවළු පලතුරු වර්ග – සුවදායක දිවියකට ඉතාම වැදගත් ලිපියක්

ගොටුකොළයේ හැඩය මොළයේ රැළි වැටුනු ස්‌වභාවයට සමානය.වකුගඩුවේ, හදවතේ හැඩය සිහිගන්වන එළවලු, පළතුරු බොහෝය. ස්‌වරූපයෙන් පමණක්‌ නොවන මේවා ගුණයෙන්ද අනූනය

ස්‌වභාවදහම ඇතැම් විට හරි අපූරු නිර්මාණ බිහි කරන බව අප කවුරුත් දන්නා කාරණාවකි. එය අහම්බයකින් වුව ඇතැම් එළවළු පලතුරු වර්ගවලට අපගේ ශරීර ඉන්ද්‍රියයන්ගේ ස්‌වරූපය ලබා දී තිබෙන බව පෙනී යයි. ස්‌වභාවදහම ඇඟිල්ලෙන් ඇන ඇන අපේ ඇඟේ වැදි වැදී අපට කියා දෙන්නේ මේවා සුලභව ආහාරයට ගන්නා ලෙසයි. පැරැන්නන් අද තරම් නූතන විද්‍යා තාක්‌ෂණික දැණුමකින් සන්නද්ධව නොසිටියත් ස්‌වභාව දහමට සංවේදි විය. මේ සංවේදීභාවය බොහෝ අනතුරු මග හැර යන්නට ඔවුන්ට ඉවහල් විය. එවැනි අපගේ ඉන්ද්‍රියයන් සිහි ගන්වන ආහාර ද්‍රව්‍යය කිහිපයක්‌ මෙසේය

අලි ගැටපේර

පැසුණු අලිගැටපේර ගෙඩියක බාහිර ස්‌වරූපය කාන්තාවකගේ ඩිම්බ කෝෂයක හැඩය ගනී. එමෙන්ම අලි ගැටපේර ගෙඩියක්‌ දික්‌ අතට කැපුවාම පෙනෙන්නේ හරියට ගර්බනී මවකගේ උදර සහ උකුල ප්‍රදේශය මෙනි. අලිගැටපේර ගෙඩියේ ඇටය ගර්භාෂයේ වැඩෙන දරුවා මෙනි. අලිගැටපේර වනාහි ගැබිණි මවකට සහ කළලයේ වර්ධනයට අවැසි අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථවලින් මෙන්ම ඖෂධීය ගුණ රාශියකට හේතු වන ශාක රසායනිකයන්ගෙන් අනූන ය. එමෙන්ම මෙහි අත්‍යවශ්‍ය ඔමේගා තුන මේද අම්ල ද සුලභ ය. ඔමේගා මේද අම්ල වැඩියෙන්ම අන්තර්ගත වන පලතුර වන්නේ ද අලිගැටපේර වෙයි. මෙම මේද අම්ල නිසියාකරයෙන් ගැබිණි මවකට නොලැබුණොත් විශේෂයෙන් කළලයේ මොළය වර්ධනයට අහිතකර ලෙස බලපානු ලබයි. ගැබිනි මවක්‌ අත්‍යවශ්‍ය ඔමේගා තුන මේද අම්ල යහමින් නොගත්තොත් ඇගේ ගර්භාෂයේ වැඩෙන කළලය තම අවශ්‍යතාවයට සරිලන මේද අම්ල මවගේ සිරුරෙන් ලබා ගනී. විශේෂයෙන් මවගේ මොළය තුළ තිබෙන මේද අම්ල දරුවා ලබා ගනී. එවිට මවට දරු ප්‍රසූතියෙන් පසුව ඇති වන මොළය ආශ්‍රිත සංකූලතා සදහා මෙය හේතුවක්‌ වන්නට පිළිවන. මෙවැනි තත්ත්වයක්‌ ඇති වීම වළක්‌වා ගන්නටනම් ගර්භනී මවක්‌ ශරීරයට අහිතකර නොවන අලි ගැටපේර වැනි ඔමේගා තුන මේද අම්ල සුලභ ආහාර අනුභව කිරීම බෙහෙවින්ම වටින්නේ ය

අලිගැටපේර වනාහි සිරුරට අහිතකර නොවන අන්දමට ශක්‌තිය ලබා ගන්නට ද හිතකර ආහාරයක්‌ වෙයි. අලිගැට පේර ග්රෑම් සියයකින් ශක්‌තිය කිලෝ කැලරි 160 ක්‌ ලබා ගන්නට පිළිවන. එමෙන්ම මෙහි බොහෝ පලතුරු වල බහුලව හමු නොවන ප්‍රොටීන් ද තිබේ. මෙය ආහාරමය තන්තු බහුල ආහාරයක්‌ වන බැවින් ආහාර ජීර්ණ පද්ධතියේ නීරෝගී භාවයට මෙන්ම මළ බද්ධයෙන් වැළකී සිටින්නට ද හොඳ පළතුරකි. අලි ගැට පේර වනාහි මේ ලොව තිබෙන පලතුරු අතරින් විටමින් ඊ. කේ. ඒ. සී. සහ බී. විටමින්වලින් ඉතාමත් පොහොසත් පලතුරකි. එමෙන්ම සින්ක්‌, පොටෑසියම්, මැංගනීස්‌ සහ යකඩ යන ගර්භනී සහ කිරි දෙන මවකට අත්‍යවශ්‍ය ඛණිජ ලවන වර්ග රාශියකින් ද පොහොසත් පලතුරක්‌ වෙයි. බීටා සිටොස්‌ටිරෝල් (Beta-sitosterol) නැමති දුලභ ශාක රසායනිකය මෙහි සුලභව හමුවීම ද අලිගැටපේර සතු තවත් ඉතාමත් වැදගත් ගුණාංගයක්‌ වෙයි. මෙය සිරුරේ අහිතකර කොලස්‌ටරෝල් මට්‌ටම පහත දමන බවත්, හිතකර කොලස්‌ටරෝල් මට්‌ටම ඉහල දමන බවත් සොයා ගෙන තිබෙනවා. මෙයට අමතරව බීටා සිටොස්‌ටිරෝල් ආහාර ජීර්ණ ක්‍රියාවලිය වැඩි දියුණු කරන්නටත්, ශරීරයේ ප්‍රතිශක්‌තිකරණය ඉහළ නන්වන්නටත්, මහාන්ත්‍ර පිළිකා සමනය කරන්නටත්, හන්දිපත් අමාරුව සහ ගර්භාෂ සංකූලතා සමනය කරන්නටත්, ඉන්ෆ්ලුවෙන්සා සහ වෛරස්‌ රෝග, ඇදුම, ආතරයිටිස්‌, ශ්වසන ආබාධ, ආර්ථවහරණ සංකූලතා සමනය කරන්නටත් ඉවහල් වන බව සොයා ගෙන තිබෙනවා. මේ ආදි වශයෙන් අලි ගැට පේර වනාහි විශේෂයෙන් ගර්භණී සහ කිරි දෙන සෑම මවක්‌ මෙන්ම බාල මහලු හැම දෙනෙකුම නිතර සේවනය කළ යුතු අනර්ඝ පලතුරක්‌ බව තහවුරු වෙයි

ගොටුකොළ

අපගේ හිස්‌ කබල විවෘත කර බැලුවහොත් එය රැළි වැටුණු ස්‌වරූපයක්‌ පෙන්නුම් කරයි. මෙය හරියට ගොටු කොළ පත්‍රයක මතු පිට පෙනුම සිහි ගන්වයි. ගොටු කොළ පිළිබදව දැනට සිදුකර තිබෙන පර්යේෂණ බොහොමයකටම අනුව මෙම ශාකය ස්‌නායූ පද්ධතිය සහ මොළයේ ක්‍රියාකාරිත්වය සඳහා අවැසි ටි්‍රටර්පීන්ස්‌ සැපොනින් (Triterpenes saponin compounds) සංඝටක වලින් පොහොසත් ය. මෙයට අමතරව ටි්‍රටර්පීන්ස්‌ සැපොනින් සංගටක රුධිර සංසරණ පද්ධතිය දියුණූ කරන්නටත් සමේ සහ කෙස්‌ වල නීරෝගීභාවය වැඩිදියුණූ කරන්නටත් ඉවහල් වෙයි. මොළයට මෙන්ම සිරුරේ නිසි ක්‍රියාකාරිත්වයට අවැසි වන විටමින් සහ ඛනිජ ලවන රාශියක්‌ ද ගොටුකොළ තුළ අන්තර්ගත වෙයි. එමෙන්ම ගොටු කොළ ශරීර ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය වැඩි දියුණූ කිරීමේ ගුණ සහ පිළිකා නිවාරණ කිරීමේ ගුණ ද ඇති බව සොයා ගෙන තිබෙනවා

මුකුණුවැන්න

මුකුණුවැන්න පත්‍රයක හැඩය අනෙක්‌ ශාක පත්‍ර වලට වඩා වෙනස්‌ ආකාරයක්‌ පෙන්නුම් කරයි. මුකුණුවැන්න පත්‍රයක්‌ අපේ ඇස උඩින් තැබුවහොත් එය හරියට ඇසක ස්‌වරූපය පෙන්නුම් කරයි. මුකුණුවැන්න ඇසේ පෙනීම වැඩි දියුණු කරන්නට හේතු වන බීටා කැරොටින් (විටමින් ඒ ) ඇතුළු පෝෂ්‍ය පදාර්ථ රාශියකින්ම අනූන ආහාරයකි

තක්‌කාලි

තක්‌කාලි ගෙඩියක්‌ දික්‌ අතට පලා නිරීක්‌ෂණය කළහොත් එය කර්ණිකා දෙකකින් සහ කෝෂිකා දෙකකින් සැදුම්ලත් අපගේ හදවතේ අභ්‍යන්තරය සිහි ගන්වයි. තක්‌කාලි වනාහි හදවතේ නීරෝගිකම සහ හදවත් රෝග වලින් වළකින්නට ඉවහල් වන ලයිකොපීන් (Lycopene) නමැති ශාක රසායනිකයෙන් අනූන ආහාරයක්‌ වෙයි. මෙහිලා අවධාරණය කළ යුතු තවත් වැදගත් කාරණාවක්‌ වන්නේ කාබනිකව වගා කරන වැඩිදියුණු නොකළ සම්ප්‍රදායික තක්‌කාලි ප්‍රභේදවල ලයිකොපීන් සියයට අසූවකින් වැඩියෙන් අන්තර්ගත වන බවය

කැරට්‌

කැරට්‌ අලයක්‌ හරස්‌ අතට කපා නිරීක්‌ෂණය කළහොත් එය අපගේ ඇසේ කුණීතයේ හැඩය සිහි ගන්වනු ඇත. කැරට්‌වල විටමින් ඒ සුලභව තිබෙන බව අප කවුරුත් දන්නා කාරණාවකි. සාමාන්‍යයෙන් කැරට්‌ ග්‍රෑම් සියයකින් අපගේ දෛනික විටමින් ඒ අවශ්‍යතාවයෙන් සියයට 113 ක්‌ පමණ ලැබේ. විටමින් ඒ වනාහි ඇස්‌වල පෙනීම සහ විශේෂයෙන් වියපත් වීමේදී ඇසට සිදු වන හානි වැළැක්‌වීම සදහා අත්‍යවශ්‍ය වන විටමිනයක්‌ වෙයි

ලීම ඇට

මෑ. ලීම. බෝංචි වැනි පියලි ඇට වර්ග වල මතු පිට පෙනුම මිනිස්‌ වකුගඩුවක හැඩය සිහි ගන්වයි. මෑ, ලීම සහ බෝංචි ඇට වල අන්තර්ගත වන පෝෂක සංඝටක වකුගඩු වල නිරෝගිභාවය සඳහා බෙහෙවින්ම ප්‍රයෝජනවත් වන අතර, රතු, නිල්, දම් වැනි වර්ණයන්ගෙන් සැදුම් ලත් මෙම ඇට වර්ග. එම වර්ණ වලට හේතු වන ප්‍රොඇන්තොසයනින් වැනි ශාකරසායනිකයන්ගෙන් පොහොසත් ආහාර වෙයි. මේවායේ තිබෙන ශාඛ රසායනිකයන් වකුගඩු රෝග, හදවත් රෝග සහ පිළිකා රෝග වලින් ආරක්‌ෂා වන්නට ද කෙනෙකුට බෙහෙවින්ම ප්‍රයෝජනවත් වෙයි. අනෙක්‌ අතට පියලි ඇට වර්ග ෆොලික්‌ අම්ලයෙන්ද පොහොසත් ආහාරක්‌ වෙයි. ෆොලික්‌ අම්ලයේ ක්‍රියාකාරිත්වය පිළිබද ඇමරිකානු කොලරාඩෝ සරසවියේ සිදු කර ඇති නවතම පර්යේෂණයකින් හෙළි වී තිබෙන තොරතුරු අප මවිත කරවයි. රුධිරයේ අන්තර්ගත ආසනික්‌ නමැති අධික විෂ සහිත බැරලෝහය සියයට 40 න් මූත්‍ර මගින් ඉවත් කර වන්නට ෆොලික්‌ ඇසිඩ් වලට පිළිවන් බව සනාථ වී තිබීම එයට හේතුවයි. ඒ අනුව මෑ, ලීම වැනි ආහාර සුලභව ගැනීම වකුගඩුවල නිරෝගි පැවැත්මට වෙසෙසින්ම ඉවහල් වන බව පෙනී යයි

ජම්බෝල

මහ නාරන් නොහොත් මහ සිදරම් යන නම්වලින් ද හැඳින්වෙන ජම්බෝල පලතුර වනාහි මේ දිනවල සුලභව දකින්නට තිබෙන පලතුරකි. මෙහි බාහිර ස්‌වරූපය ස්‌ත්‍රියකගේ පියයුරක හැඩය පෙන්නුම් කරයි. ජම්බෝල පොත්තේ. මදයේ සහ මදයත් පොත්තත් අතර තිබෙන ස්‌පොන්ජිමය ආවරණය තුළ පියයුරු පිළිකා රෝග මර්දනය කරන්නට සමත් ක්‌වසටින් Quercetin සහ හෙස්‌පෙරිඩින් Hesperidin වැනි දුර්ලභ ලැවනොයිඩ වර්ග රාශියක්‌ම නිස්‌සාරණය කර ගන්නට විද්‍යාඥයින් සමත් ව තිබෙනවා

මෙයට අමතරව ජම්බෝල ග්‍රෑම් සියයකින් විටමින් සී දෛනික අවශ්‍යතාවයෙන් සියයට 73 ක්‌ පමණ ලබා ගන්නට පිළිවන විටමින් සී වනාහි පිළිකා පරදන ප්‍රතිඔක්‌සිකාරක ගුණ ඇති විටමීනයක්‌ ද වෙයි. මෙම පලතුර පොටෑසියම් අධික සහ සෝඩියම් නොමැති පලතුරක්‌ වන බැවින් හදවත් රෝගීන්ට සහ අධික රුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන්ට ද දිව ඔසුවක්‌ වෙයි. එනමුත් පොටෑසියම් අධික ආහාර වකුගඩු ආබාධ වලින් පෙළෙන රෝගීන්ට අහිතකර වන බව මතක තබා ගැනීම වැදගත් වෙයි. බටහිර ඖෂධවල විෂ හරණ ක්‍රියාවලියට බාධා කරන රසායනික සංගටක ද ජම්බෝල වල සුලු වශයෙන් තිබෙන නිසා ඉංග්‍රීසි බෙහෙත් බොන රෝගීන්ට ද ජම්බෝල හිතකර වන්නේ නැත. කෙසේ වෙතත් සාමාන්‍ය නිරෝගි ළමා මහලු හැමෝටම විශේෂයෙන් ස්‌ත්‍රීන්ට ගුණදායක පලතුරක්‌ ලෙස ජම්බෝල සැලකිය හැකිය

ජපන් ජාතික මහාචාර්යවරයෙකු දිනක්‌ බණ්‌ඩාරවෙල ප්‍රදේශයේ පාසැලකට පැමිණියේය. සිමෙන්ති පඩි පෙළ දිගේ ගමන් කරමින් සිටි ඔහු සිමෙන්ති බදාමය අස්‌සෙන් අසීරුවට එහෙත් සරුවට වැවී තිබුණු ගොටුකොළ පදුරක්‌ දෙස මහත් විශ්මයෙන් යුතුව බලා සිටුණු පෙනිණ. -අපේ රටේ මේ වටිනා දිව ඔසුව වගා කර ගන්න අපි පුදුම දුකක්‌ වි`දිනවා. උඹලගේ රටේ විසි කරත් හැදෙන මේ ඖෂධය පාගා ගෙන යනවා. උඹලට කවදානම් මොළය පෑදෙයි ද….” ජපන් මහාචාර්යවරයා එසේ කීය

ඉදුණු ජම්බෝල ගෙඩි වලින් පිරුණු ජම්බෝල ගසක්‌ එක්‌තරා නිවසක්‌ අසල තිබෙනු රාජකාරි ගමණක්‌ යමින් සිටි මා හට දිනක්‌ දකින්නට පිළිවන් විය. එම නිවසේ සාමාජිකයින්ට මා ජම්බෝලවල ගුණය පිළිබද කියා දුනිමි. ඊට වසරකට පමණ පසු එම නිවස අසලින් නැවත වතාවක්‌ ගමන් කරමින් සිටි මා හට අර ජම්බෝල ගස කපා දමා තිබෙනු නිරීක්‌ෂණය විය. අවාසනාවක මහත. එම නිවසට අල්ලපු නිවසේ සිටි ස්‌ත්‍රියක්‌ පියයුරු පිළිකා රෝගයෙන් පෙළෙන බව දැන ගන්නට හැකි විය. අනේ අර ජම්බෝල ගස කපා නොදා ජම්බෝල ආහාරයට ගත්තානම් අර කාන්තාවට සමහර විට පියයුරු පිළිකා රෝගය නොවැළදී තිබෙන්නට පිළිවන් බව එවෙලේ මට සිතිණ

ස්‌වභාව දහමට නොව රූපවාහිනියේ වෙළෙද දැන්වීම්වලට සංවේදී අපි බොහෝ දෙනෙකු ස්‌වභාවදහමේ පණිවුඩ කියවා ගන්නට අපොහොසත් වෙමු. ඒ නිසා ලංකාවේ මිනිසුන් බොහෝ දෙනෙකු මිය යන්නේ දේවල් නොමැතිකම නිසා නොව දේවල් පිළිබද නොදන්නාකම නිසාවෙන් බව අවධාරණය කරනු කැමැත්තෙමු

ගැමුණු සාලිය පෙරේරා , උපදේශක, වස විස නැති ආහාර ජාතික වැඩසටහන, උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය

ලිපි මුලාශ්‍රය – දිවයින පුවත්පත

Source Link : Wishma Lokaya

විවිධ රෝගවලට ගුණ දෙන ඖෂධිය කැඳ වර්ග

ගොවිතැන සිය ජීවනෝපාය කරගෙන ජීවත්වන ඈත ගම් දනව්වල සමහර ගැමියන් තවමත් උදෑසන ආහාරයට කොළ කැඳ කෝප්පයක් හෝ දෙකක් ගන්නේ ඉන් ලැබෙන ගුණය දන්නා නිසාවෙනි. උදෑසනට කිරි තේ හෝ කහට තේ බොන්නට බොහෝ දෙනා පුරුදුව හිටියත් කොළ කැඳ කොප්පයක් රහ බලා තම දෛනික කටයුතු අරඹන්නේ ප්‍රබෝධයෙන් හා උනන්දුවෙන් යුතුවයි. සිරුරට පහසුවෙන් අවශෝෂණය කරගත හැකි ලෙස කොළ කැඳ සාදාගත හැක්කේ ශාකයක හෝ වැලක කොළ පොතු මුල් සහ අල උපයෝගී කරගෙන දිරවීමට පහසුවන පරිදි සැකසීමෙනි.

වස විසෙන් තොරයි

කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු නොවන සිරුරට ශක්තිජනක පානයක් ලෙස වෙසෙසින් ම හඳුන්වා දිය හැකි කොළ කැඳ ඖෂධීය ගුණය ඇති විශේෂිත පානයකි.

ඖෂධීය ගුණයෙන් වැඩියි

ලංකාවේ ගබ්බදව ජීවත්වන ගැමියන් දෛනිකව මෙවැනි ගුණාත්මක බවින් වැඩි කොළ කැඳ වර්ග භාවිතා කරයි. බාල මහළු, රෝගී හා නිරෝගී අයටත් කැඳ වර්ග පානය කිරීම බොහෝ ගුණ දෙන බැවින් සමහරුන් මේ සඳහා ගුණාත්මක බව වැඩි කරගැනීමට දේශීය ඖෂධීය ගුණැති සහල් වර්ග උපයෝගී කරගනියි. වර්තමානයේ වස විසෙන් තොර ආහාර රටාවකට හුරුවන්නට අවශ්‍ය නිසා සාමාන්‍යයෙන් මෙම සහල් වර්ගයන් මිල අධික විම නිසා ප්‍රධාන ආහාරවේලට භාවිතා නොකළත් උදෑසන ඔබේ තේ පානය වෙනුවට මේ දේශීය සහලින් සැදු කොළ කැඳ පානයක් ලෙස ගන්නේ සෞඛ්‍යට වඩාත් හිතකර නිසයි. එසේම කැඳ සැදීම සඳහා ඕතඥදඤඥප එක වෙනුවට පුරාණයේ මෙන් වංගෙඩියේ දමා කොටා ගතහැකි නම් එය වඩා සුදුසුයි. නියම පෝෂණ හා ඖෂධීය ගුණයේ ඉහළ වටිනාකමක් ඒ කැඳවලට ලැබෙන්නේ එවිටයි.

සෞඛ්‍යට හිතකරයි

කොළ කැඳ ප්‍රධාන කොටස් 2 ට ආයුර්වේදයට අනුව පෙන්වා දිය හැකියි. ඖෂධීයව එකක් හා අනෙක පෝෂණීයව කොළ කැඳ ලෙස සිරුරේ පැවැත්මට හා පෝෂණයට අවශ්‍ය වන පරිදි ස්වභාවධර්මයා අපට දායාද කර දී ඇත.

ඖෂධීය කොළ කැඳ

විවිධ රෝගාබාධවලට ඔරොත්තු දිය හැකි කැඳ වර්ග පරිසරයෙන් අපට හමුවේ. මේ අනුව අල වර්ග, කොළ වර්ග, පොතු වර්ග, ඇට වර්ග ඖෂධීය කැඳ ලෙස භාවිතා කෙරේ. ඒ සඳහා උදාහරණ ලෙස කරංපිචා කොළ, කොහිල අල කැඳ, එළබටු දළු කැඳ, හීන් බෝවිටියා සහ මුලින්ම ගෙන සාදාගන්නා කැඳ, ගොටු කොළ කැඳ, යකිනාරං කොළ කැඳ, සහ දිවුල් කොළ කැඳ යනුවෙන් හඳුන්වා දිය හැකියි.

පෝෂණීය කැඳ

මෙහිදී රෝගාබාධයක් නොමැතිව සිටින සිරුරේ හිතකර සෞඛ්‍ය තත්ත්වය නඟාසිටුවීමට උදෙසා පෝෂණීය කැඳ ලබාදේ. ඒ වගේ නිරෝගී පුද්ගලයන්ට මෙවැනි කැඳ වර්ග නිර්දේශ කරනු ඇත. උදා – හාතාවාරිය කොළ කැඳ, මොණරකුඩුම්බිය, මුල් හැර අන් සියළුම කොටස් කොළ කැඳ වලට භාවිතා කරයි. ඉරමුසු කොළ කැඳ, මුගුණුවැන්න, කුරක්කන් කැඳ, මුං ඇට කැඳ, බැඳි හාල් කැඳ, මෙනේරි කැඳ

බැඳි හාල් කැඳ

අවශ්‍ය ප්‍රමාණයට හාල් ගෙන සෝදා පිරිසුදු කර කබලෙ දමා බැදගන්න. රන්වන් පාට වන තෙක් බැඳ පසුව එය වෙනම භාජනයකට වතුර සමඟ එක්කර ටික වේලාවක් ගිය පසු පොල්කිරි හා අවශ්‍ය පදමට ලුණු එකතු කර බැඳි හාල් කැඳ සාදාගත හැකියි. ඕනෑම රෝගාබාධයක් සැදී සුව වූ විට පළමුවෙන් ම දෙන්නේ මේ බැඳි හාල් කැඳයි.

මෙහිදී සහල් බැදගත් නිසා පවතින සුවිශේෂී ගුණය වන්නේ අන්ත්‍රවලදී වැඩි ප්‍රමාණයක් හොඳින් අවශෝෂණය කිරීමට හැකිවීමයි. මෙහි දී ක්ෂණික ශක්තියක් ලැබේ. මේ කැඳවල සාන්ද්‍රණය හොඳින් පවතින බැවින් කැඳ සුළු ප්‍රමාණයකින් වුවත් සිරුරේ ශක්තිය ලැබේ. අන්ත්‍රගත රෝගාබාධ වලදී මෙය වඩාත් සුදුසුයි. අන්ත්‍රගත රෝගයේ ඝණ ආහාරයක් ගත්විට එය දිරවීමට අපහසුය. නමුත් බැඳි හාල් කැඳ වලින් ලැබෙන දිරවීමේ පහසුබව නිසා හොඳින් සිරුරට අවශෝෂණය වී පෝෂණය ලැබේ. එවිට ඝණ ආහාර ලබාගැනීමට අවශ්‍ය මුලික පදනම වැටෙනු ඇත.

කරපිංචා කොළ කැඳ

පාරම්පරිකව එන දේශීය වෛද්‍යවරු චිරාත් කාලයක පටන් ගෙන භාවිතා කරන විෂ නසන කරපිංචා කොළ කැඳ විශේෂයෙන් සර්ප විෂට යොදා ගැනේ. කරපිංචා කොළ ඕනෑම අවස්ථාවක දී සර්ප විෂ නසන්නට විශේෂයෙන් දේශීය චිකිත්සාවේ දී ඕනෑම වෛද්‍ය පරම්පරාවකට අදාලව භාවිතා කරයි. කරපිංචා කොළ වංගෙඩියක දමා කොටා ගත් යුෂට පොල්කිරි සමඟ හාල් අවශ්‍ය පමණට එකතු කර ඇති තෙක් ලුණු ද දමා රත්කර කැඳ සදා ගත හැකියි. හාල් එක් කිරීමේදී සුවඳැල් වැනි දේශීය ඖෂධීය හාලක් භාවිතා කරන්නේ නම් උපරීම ප්‍රථිඵල ලබාගත හැකියි.

හීන් බෝවිටියා කොළ කැඳ

දේශීය වෙදකමේ විශේෂයෙන් භාවිතා වන්නේ සෙංගමාලය රෝගටයි. අක්මාව ශක්තිමත් කරන කැඳ වර්ගයකි. මෙහි මුළුමනින්ම ඇත්තේ ඖෂධීය ගුණයයි. සෙංගමාලයට සිදු කරන ප්‍රතිකාර පංතියේදී එක් ඖෂධයක් ලෙස ද හීන් බෝවිටියා කොළ කැඳ ලබාදෙයි. එහි පවතින ගුණ අනුව අද බහුලව පවතින කොලොස්ටරෝල් වලට හිතකර ලෙස ද භාවිතා වේ. ඒ සඳහා ප්‍රතිකාර ගන්නා අතරේ දී අමතර පානයක් ලෙස මෙය එක දිගට දිනපතා එක්වේල බැගින් සතියක් ගැනීමෙන් ඖෂධවල ගුණාත්මක භාවය ලබාගත හැකියි. කැඳ සඳහා බෝවිටිය සහමුලින්ම ගනියි.

කොහිල අල කැඳ

දිනපතා භාවිතා කළ හැකියි. විශේෂයෙන් අර්ශස් රෝගී අයට සුදුසුයි. බඩවැළ පහත්වීම (ගුදභ්‍රංෂය) ගත රෝග තත්ත්වයේදී ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙස ගනී. කොහිල අල පොතු හැර මදය කෑලි වලට කපා ගාගන්නා ලද පොල් සමඟ වංගෙඩියේ දමා කොටා මිරිකා ගත් යුෂ සහල් සමඟ රත් කර පදමට ලුණ දමා කැඳ සාදා ප්‍රයෝජනයට ගත හැකියි. මල බද්ධයට විශේෂිතයි. වතුර අඩුවෙන් පානය කරන පිටි සහිත ආහාර ගන්නා අයට මෙය විශේෂිත වේ. එවිට ඔවුන්ගේ මල පිටවීමේ අපහසුව මඟ හරවා ගත හැකියි.

එළබටු කැඳ

විශේෂයෙන්ම ළදරුවන්ගේ සෙම අවස්ථාවලදී භාවිතා කරයි. දළු ගෙන කොටා ගත් යුෂ පසුව පොල් කිරි දමා හාල් ද ඇතුළුව ලුණු දමා රත්කර ප්‍රයෝජනයට ගත හැකියි. ඕනෑම සෙම් හා කැස්ස රෝගයට ගුණ දේ.

හාතාවරිය කැඳ

මෙය පෝෂණීය කැඳකි. හාතාවරිය කොළ කොටා යුෂ මිරිකා ගෙන පොල්කිරි සමඟ මිශ්‍ර කර රත්කර පදමට ලුණු දමා හාතාවරිය කැඳ සාදාගත හැකියි. මෙය ඉතා ප්‍රනීත කැඳකි. සිරුරේ ධාතු ශක්තිය වර්ධනය වෙයි. ක්‍රීඩකයන්ට හා වෙහෙසී වැඩකරන අයට ඉතාම සුදුසු වෙයි.

ස්වර්ණා ආරියවංශ
ලිපි මුලාශ්‍රය – අරෝග්‍යා පුවත්පත

Source Link : Wishma Lokaya

විවාහයට පෙර බැලිය යුතුම පොරොන්දම – සෞඛ්‍ය පොරොන්දම

තරුණියක් සහ තරුණයෙක් යුග දිවියට පිවිසීමට පෙර වෛද්‍යවරයකු හමු වී උපදේශනය ලැබීම අද බොහෝ රටවල දැකිය හැකිය. මෙය ඇත්ත වශයෙන්ම “වෛද්‍ය පොරොන්දම්” ගැලපීම හෝ “සෞඛ්‍ය පොරොන්දම්” බැලීමක් ලෙස හැඳින්වීමට පුළුවන. මෙම වෛද්‍ය උපදේශනයේදී ඔවුන්ගේ අනාගත පවුල් ජීවිතය, විශේෂයෙන්ම ලිංගික ජීවිතය ගැන උපදෙස් ලබාදීම සිදුවීම සාමාන්‍ය දෙයකි. එහෙත් මෙහිදී කෙරෙන ස්වාභාවිකම සහ වැදගත්ම කාර්යභාරය වන්නේ ඒ දෙදෙනා තුළ යම් සෞඛ්‍යමය නොගැලපීම් ඇත්දැයි විමසීම සහ එවැනි ගැටලු විසඳා ගැනීමට උදව් උපකාර කිරීමය.

වෛද්‍යවරයා විසින් දෙදෙනාගේම පවුල්වල සෞඛ්‍ය ඉතිහාසය විමසා බලනු ඇත. ඔවුන්ගේ පවුල් තුළ දියවැඩියාව, හෘදයාබාධ, ආඝාතය, අසාත්මිකතා, අධික රුධිර පීඩනය, ආර්තරයිටිස්, පිළිකා වැනි රෝග පැවතියේ නම් ඔවුන්ට ද අනාගතයේදී එවැනි රෝගවලට ලක්වීමට පවත්නා අවදානම මෙහිදී පෙන්වා දෙනු නිසැකය.

එවැනි ආපද්‍රවකින් මිදීමට ගත යුතු පියවර සහ අවදානම අවම කර ගත හැකි පියවර පිළිබඳ උපදෙස් ද හිමි වනු ඇත. යම් ලෙසකින් ගැහැනු ළමයාගේ පාර්ශවයේ සමීප ලේ ඥාතී කාන්තාවකට (මවට, පුංචි අම්මාට, ආච්චිට) පියයුරු පිළිකාවක් වැලඳී තිබුනේ නම් ඇයට ද ඒ පිළිබඳව විමසිලිමත් වීමේ අවශ්‍යතාව හුවා දක්වනු ඇත.

එසේම කිසියම් සමීප පවුලක දරුවකු විකෘති හෝ ආබාධිත හෝ දරුවකු ලෙස උපත ලබා තිබුණහොත් එයට හේතු සෙවීමද අවශ්‍යය. සමහර විට ජාන පරීක්ෂණයක් සිදු කර එවැනි අවදානමක් ඇති නැති බව විමසිම ද සිදුවිය හැකිය.

විවාහයට පෙර යුවළක් මෙවැනි උපදේශන ලැබීම ශී‍්‍ර ලංකාවෙහි දැකිය නොහැකිය. එය සිදු වෙතොත් ඒ ඉතා කලාතුරකිනි. බොහෝවිට සිදුවන්නේ දරු පිළිසිඳීමක් ඇති වූ පසු කාන්තාව වෛද්‍ය සුපරික්ෂාවට ලක් වීමය. ඔවුන්ට සහ බොහෝවිට කුස තුළ පිළිසිඳුන බිළිඳාට ඒ වනවිටත් යම් අවැඩක් සිදුව තිබිය හැකිය. කෙසේ වෙතත් විවාහ දිවියට පිවිසීමට පළමුව යුවළම විශේෂයෙන්ම කාන්තාවක් විමසා බැලිය යුතු සෞඛ්‍ය ගැටලු කිහිපයකි. ඉන් කිහිපයක් මෙසේය.

මුත්‍ර තුළ ඇල්බියුමින් පවතී දැයි විමසන්න

මුත්‍ර පරීක්ෂණයක් මඟින් මුත්‍ර තුළ ඇල්බියුමින් (ප්‍රෝටීන්) පවතී දැයි සොයා බැලීම වැදගත් වන්නේ සමහරවිට ළමා කාලයේ ඇති වූ මුත්‍ර ආසාදන සහ වකුගඩු රෝග (උදා. නෙප්‍රයිටිස්) හේතුකොට ඇති වූ යම් හානි පවතී දැයි විමසීමටය. එවැනි තත්ත්වයක් ඇත්නම් ඒ සඳහා ප්‍රතිකර්ම යෙදීම වැදගත්ය.

රුධිරය තුළ ප්‍රමාණවත් ‘හිමොග්ලොබින්’ ප්‍රමාණයක් ඇත්දැයි සොයා බලන්න

රුධිර පරීක්ෂණයක් මඟින් ලේ තුළ පවතින රතු රුධිර සෛල ප්‍රමාණය සහ ඒවායෙහි අඩංගු හිමොග්ලොබින් (ඩ්.ඕ) ප්‍රමාණය විමසා බැලීම් මඟින් තමන් නීරක්තියෙන් පෙළෙන – නොපෙළෙන බව සොයාගත හැකිය. එවිට දරු පිළිසිඳීමට පෙර අවශ්‍ය යකඩ අඩංගු ආහාර වැඩිපුර ගැනිම හෝ යකඩ පෙති හෝ පැණි හෝ වශයෙන් ලබාගෙන නීරක්තිය අවම කර ගැනීමට පුළුවන. එය සාමාන්‍ය ජීවිතයේ කාර්යක්ෂමතාව ඉහළ නංවාලීමට මෙන්ම ගර්භණී සමයේ සංකූලතා වැළැක්වීමට ද හේතු වෙයි.

රුධිරගත සීනි ප්‍රමාණය සොයා බලන්න

බොහෝ තරුණ තරුණියන් තමන්ගේ වැරදි දින චර්යාව (වැරදි ආහාර හා ව්‍යායාම නොගැනීම) නිසා තමන් නොදැනුවත්වම දියවැඩියා රෝගයෙන් පෙළෙති. දරු පිළිසිඳීමට ලක් වූ විට කාන්තාවගේ දියවැඩියා තත්ත්වය දරුවාට බලපෑම නිසා දරුවා උපතින්ම දියවැඩියා රෝගියකු බවට පත්විය හැකිය. එහෙයින් විවාහයට පෙර විශේෂයෙන්ම දරු පිළිසිඳීමකට ලක්වීමට පෙර දියවැඩියා තත්ත්වයක් ඇත්නම් එය පාලනය කර ගැනීම ඉතා වැදගත්ය.

තැලසීමියා අවදානම නැති කරගන්න

අප අතරින් සමහරකු තුළ සුළු තැලසීමියයා සාධකය පවතියි. විවාහ වන දෙදෙනා තුළම සුළු තැලසීමියා සාධක ඇත්නම් උපදින දරුවෙකු මහා තැලසීමියා තත්ත්වයට පත්විය හැකිය. එය දරුවාට මෙන්ම පවුලටම අභාග්‍යයකි. එහෙයින් විශේෂයෙන්ම තැලසීමියා අවදානම පවතින ප්‍රදේශවල තරුණ තරුණියන් තමන් තුළ මෙම සුළු තැලසීමියා තත්ත්වය පවතී දැයි සොයා බැලිය යුතුය. යම් ලෙසකින් තමන් තුළ සුළු තැලසීමියා සාධකය පවතී නම් විවාහ විය යුත්තේ එවැනි සාධකයක් රහිත අයෙකු සමඟ පමණය.

රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ද විමසන්න

හෘදයාබාධ තත්ත්වයක් තරුණ සහ මැද වයසේ දී ඇතිවීම වැළැක්වීමට මෙය ඉතා වැදගත්ය.

දෙදෙනාගේම රුධිර පීඩනය මැනගන්න.

අධික රුධිර පීඩනය, ගර්භණී සමයේදී දරුණු සංකූලතා ඇති කරයි. එහෙයින්ම රුධිර පීඩනය ගැන දැනුමක් ලබාගෙන එය යම් ඉහළ මට්ටමක් ගන්නේ නම් පාලනයට පියවර ගැනීම වැදගත්ය.

රුධිර ගණය සොයා බලන්න

දෙදෙනාගේ රුධිර ගණ අතර යම් නොගැලපීමක් ඇත්ද යන්න ද සොයා බැලීම වැදගත්ය. පිරිමි සහායකයා ධන රුධිර ගණයක් ද කාන්තාව ඍණ රුධිර ගණයක් ද ඇත්නම් යම් ගැටලු ඇතිවීමේ අවදානමක් පවතියි. මෙම අවදානම අවම කිරීමට ද දැන් වෛද්‍යමය ප්‍රතිකර්ම ඇත.

ඥාති විවාහ නම් එපා

ලේ ඥාතීන්, විශේෂයෙන්ම නෑනා – මස්සිනා අතර විවාහ කිසිම ලෙසකින් වත් අනුමත කළ නොහැක්කේ බොහෝවිට උපදින ළදරුවන්ට අන්ධභාවය, බිහිරි බව, හෘද විකෘතිතා, ස්නායු විකෘතිතා ඇතුළු විකෘති තත්ත්ව ගණනාවක් ඇති කළ හැකි බැවිනි.

මානව ප්‍රතිශක්ති ඌනතා හා හෙපටයිටිස් බී ඇත්දැයි විමසන්න

මානව ප්‍රතිශක්ති ඌනතා (එච්.අයි.වී) ආසාදනය සහ හෙපටයිටිස් බී ආසාදනය යන රෝග තත්ත්වයන් දෙකම රුධිරය හා ලිංගික ස්‍රාව හරහා එක් අයෙකුගෙන් තවත් අයෙකුට බෝවිය හැකිය. එය කුස තුළ වැඩෙන දරුවාට ද වැලඳිය හැකිය. මෙයට අමතරව හර්පීස්, උපදංශය හා ගොනෝරියාව (සුද බිංදුම) වැනි සමාජ රෝග ඇත්ද යන්න පරීක්ෂා කර ගැනීම ද වැදගත් වන්නේ තම තමන්ට පමණක් නොව අනාගත බිළිඳාට ද ඒවා ගැටලු ඇති කළ හැකි බැවිනි.

Source Link : Wishma Lokaya

ඉන දෙපස එල්ළා වැටෙන උදරය ඉක්මණින් නැති කරගන්න මෙන්න මේ සත්කාරය කරන්න

ඉන දෙපස එල්ළා වැටෙන උදරය ඉක්මණින් නැති කරගන්න මෙන්න මේ සත්කාරය කරන්න
අපි හැමදාම ඔබට ගොඩක් වැදගත් වෙන දේවල් ගැන කියලා දෙනවානේ අදත් අපි ඔබට කියලා දෙන්න යන්නේ ගොඩක් දෙනෙක්ට ගැටළුවක් වෙලා තිබෙන කාරණයක් ගැන ….ඒ තමයි ඉන දෙපස එල්ළා වැටෙන උදරය ඉක්මණින් නැති කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන….ඔබත් මේ ගැන දැනගන්න පහත video එක බලන්න…

 

Source Link : lanka-hotnews

හෘදයාබාධයක් ඇතිවූ විගසම දිය යුතු ප්‍රථමාධාර

නිවසේ දී කාර්යාලයේ දී හෝ මහමඟ හෝ අයකු හට පපුවේ වේදනාවක් ඇති හෘදයාබාධයක ලක්ෂණ වුවහොත් මේ ලෙස ක්‍රියා කරන්න.

• රෝගියා තිරස්ව සැතැපීමට සලස්වන්න. ඇඳක් නැත්තම් සුදුසුතම ස්ථානය බිමයි. පැත්තට හැරෙන්නට වුවමනා නම් ඊට ඉඩදෙන්න. සිහිමඳ රෝගියකු නම් පැත්තට හැරෙන්නට වුවමනා නම් ඊට ඉඩදෙන්න. සිහිමඳ රෝගියකු නම් පැත්තකට හරහා තබන්න. (වමනය හා කෙළ පෙණහැල්ලට යෑම වැළැක්වීම පිණිස මෙසේ හරවා තැබීම අවශ්‍යය)

• දිගාවී සැතපීමට ඉඩක් නැත්තම්, පුටුවක වාඩි වී සිටියාට කම් නැත. එහෙත් ශරීර මට්ටමට එන ලෙස කකුල් ඔසවා බංකුවක් (වැනි දෙයක්) මත තබන්න.

• වාඩි වී සිටීමෙන් හුස්ම ගැනීම පහසු බව රෝගියා පැවසුවහොත් ඒ ඉරියව්වෙන්ම සිටීමට ඉඩ හරින්න.

• තදට ඇඳ ඇති ඇඳුම් ලිහිල් කරන්න. ඉනපටි, ටයිපටි ආදිය ඉවත් කරන්න.

• මලපහ කිරීමට හෝ මුත්‍රා කිරීමට අවශ්‍ය නම් ඇඳේ දිගා වී සිටිය දී ම එසේ කිරීමට ඉඩ හරින්න. නැගිටුවා ඇවිද්දවීම වැරදියි.

• වෙනත් හෘද රෝගියකු ළඟපාත සිටිදැයි වහාම විමසන්න. මෙම රෝගීන් ළඟ හදිසි අවස්ථාවක දී දිව යට තබාගත යුතු ටී.එන්.ටී. පෙති ඇත. එබඳු රෝගියකු ළඟ සිටියහොත් ඔහුගෙන් ටී.එන්.ටී. පෙති දෙකක් ඉල්ලා කුඩු කොට, රෝගියාගේ දිව යට තබන්න. විනාඩි දහයකට පසු වේදනාව තවමත් පවතින්නේ නම් තවත් ටී.එන්.ටී. පෙති දෙකක් එලෙසම දෙන්න. පැය භාගයක් ඇතුළත පෙති 06කට වඩා දෙන්න එපා.

• ඇස්පි‍්‍රන් හෝ දියවෙන සුලු ඇස්පී‍්‍රන් පෙත්තක් ඇල්වතුර කෝප්ප 1/4පමණ දිය කොට රෝගියාට පොවන්න. මෙය ඉතා වැදගත් පියවරෙකි.

• දහඩිය දැමීම අධික නම් රෙදි කඩකින් පිසදමා සෙමෙන් පවන් සලන්න.

• රෝගියා වටා බොහෝ දෙනා වට වී සිටීම නොමැනවි. එයින් ඔහුට වාතාශ්‍රය නොලැබෙනු පමණක් නොව මානසික අසහනය ද වැඩිවේ.

• ගෑස් අඩංගු බීම, සෝඩා බ්‍රැන්ඩි ආදිය නොදිය යුතු ය.

හෘද ශ්වසන පුනර්ජීවනය හෙවත් ශ්වසන ප්‍රථමාධාර ක්‍රමය – මුලික ක්‍රියා පිළිවෙළ

හෘදය ගැස්ම නැවතුණු විට කරනු ලබන ප්‍රථමාධාර ක්‍රමයට හෘද ශ්වසන පුනර්ජීවනය යයි කියනු ලැබේ. පහත සඳහන් ලක්ෂණ එකක් හෝ වැඩි ගණනක් හෝ හෘදයාබාධ රෝගියකු කෙරෙහි දුටු කල්හි හද ගැස්ම නැවතුණු බව උපකල්පනය කළ යුතුය.

එනම්:- • ශ්වසනය නැවතීම • නාඩිය හසු නොවීම • ශරීරය (වලිප්පුවක දී මෙන්) ගැස්සීම • ඇස් උඩට කරකැවී යාම • ඇඟිලි තුඩු ද නිල් පැහැවීම

මේ රෝග ලක්ෂණ ඇත්නම් වහාම පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කරන්න.

තමාගේ දකුණත මීට මොළවා රෝගියාගේ පපුවේ වම් පැත්තට (ශරීරයට හෘදය මතුපිටට) වැරෙන් තලන්න. ඒ කළ වහාම බාහිර හෘද සම්බාහනය ආරම්භ කළ යුතුයි.

සම්බාහනයේදී කරනුයේ රෝගියාගේ හෘදය, පපු ඇටයත්, කොඳු ඇට පේළියත් අතර තෙරුපීමයි. එවිට හෘදයේ ඇති රුධිරය ශරීරයට ගලා යයි. මෙය සාර්ථකව කරනු පිණිස රෝගියාගේ කොඳු ඇට පෙදෙස නොනැමී තිබිය යුතුය. එබැවින් රෝගියා බිම වැතිරවීම ඉතා සුදුසුය. අනතුරැව තමාගේ අත්දෙකම රෝගියා ගේ පපු ඇටය මැද තබා අඟල් 1 1/2 – 2ක් පමණ පහළට පපු ඇටය එබිය යුතුය. මේ සඳහා තමාගේ සිරැරේ බර උපයෝගී කර ගැනීම යෝග්‍යය.

විනාඩියකට 80 – 100 වාරයක්

විනාඩියට 80 – 100 වාරයක් පමණ මේ බාහිර සම්බාහනය කරන්න. ඕනෑවට වඩා වේගයෙන් සම්බාහනය කිරීමෙන් වැළකෙනු පිණිස එක, දෙක, තුන යනාදී වශයෙන් ගණන් නොකොට එක් දහසයි එකයි. එක් දහසයි දෙකයි. එක් දහසයි තුනයි. යන පරිද්දෙන් ගණනය සඳහා උපදෙස් දෙනු ලැබේ. සෑම සම්බාහන හතරකට හෝ පහකට හෝ පසුව කෘත්‍රිම ශ්වසනයක් ද කළ යුතුය.

කෘත්‍රිම ශ්වසනය

පළමුකොට වෙද ඇඟිල්ල රෙදි කඩකින් වෙලා රෝගියා ගේ මුව ඇතුළෙහි ඇති සෙම, වමනය, බොරැ දත් ආදිය ඉක්මනින් ඉවත් කරන්න. ඉන්පසු රෙදි කඩකින් තේ හැඳි මිටක් වෙලා එය දිවට උඩින් යොදා දිව පිටුපසට වැටී යාම වළක්වාලන්න. (එසේ වැටුණොත් ශ්වසන මාර්ගය අවහිර වේ)

අනතුරුව රෝගියාගේ නිකට (තමාගේ දකුණු අතින්) හැකි තරම් උඩට (ඉහළට) උස්සා තමාගේ වම් අතින් රෝගියාගේ නාස්පුඩු තදකොට වසාගන්න. (මේ සඳහා තමා රෝගියාගේ දකුණු පැත්තේ සිටිය යුතුය. නාස් පුඬු වසා නිකට උස්සා කට අරින පරිදි ඉහළට උස්සන්න.)

(සෑම සම්බාහන හතරකට වරක්ම කෘත්‍රිම ශ්වසනයක් දිය යුතු ය.)

දැන් හැකිතරම් ගැඹුරට හුස්ම ගෙන තමාගේ මුව, රෝගියාගේ මුවට තදකොට තබා වැරෙන් ඔහුගේ මුව තුළට හැකි තරම් හුස්ම පිඹින්න. රෝගියාගේ මුව මත ලේන්සුවක් එළා මෙය කළාට වරදක් නැත. හරියට මෙය කළහොත් රෝගියාගේ පපුව හුස්ම නිසා පිම්බෙනු ඇත. දැන් දෑතම ඉවත් කොට යළිත් බාහිර සම්බාහනය අරඹන්න. මේ අතර වෙද්‍යාධාර පැතිය යුතුයි.

ලිපි මුලාශ්‍රය – දේශය

Source Link : Wishma Lokaya

ඔබගේ මුහුණේ ඇති තෙල් ස්වභාවය ඉවත් කරගැනීම සදහා සත්කාර 05ක්

තෙල් සහිත සමක් යනු බොහෝ කරදරකාරී තත්වයකි. ඔබගේ මුහුණ තෙල් ස්වාභාවයෙන් යුක්ත වීම නිසා කුණු සහ දුහුවිලි බැදීමට අවශ්‍ය පරිසරය ස්වාභාවිකවම නිර්මාණය වේ. මේ නිසා කුරුලෑ වැනි තත්ව ඇති වීම සුලබව සිදුවේ. ඔබගේ මුහුණේ ඇති ස්වභාවික තෙල් ගතිය ආරක්ෂා කොට අමතර තෙල් ඉවත් කරගැනීම සදහා භාවිතා කල හැකි සරල ආලේපන කිහිපයක් මෙම ලිපියේ අන්තර්ගත වේ.

01.කෙසෙල් සත්කාරය.

හොදින් ඉදුණු කෙසෙල් ගෙඩියක් ගෙන එයට පැණි මේස හැන්දක් සහ දෙහි හෝ දොඩම් යුෂ මේස හැන්දක් එකතු කරන්න. මේ සියල්ල බ්ලෙන්ඩරයකට දමා බ්ලෙන්ඩර් කරගන්න. මෙම මිශ්‍රණය ඔබගේ මුහුණේ ගල්වා මිනිත්තු 15ක් තිබෙන්නට හැර
සෝදා හරින්න.

02.කඩල පිටි, කහ සහ දෙහියුෂ, කිරි සත්කාරය.

කඩල පිටි හැදී දෙකක් සහ කිරි හැදී 3ක් එකතු කරන්න. හොදින් මිශ්‍ර කරන්න. ඉන් පසු කහ මේස හැන්දක් සහ දෙහි යුෂ දෙකක් පමණ එකතු කරන්න. මෙම මිශ්‍රණය මුහුණේ ගල්වා මිනිත්තු 20ක් තිබෙන්නට හැර සෝදා හරින්න.

03.තක්කාලි සත්කාරය.

තක්කාලි ගෙඩියක් ගෙන එහි ඇතුලත ඇති මදය සමග යෝගට් හැන්දක් මිශ්‍ර කර මුහුණේ ගල්වන්න. මිනිත්තු 15ක් තිබෙන්නට හැර සෝදා හරින්න. එමගින් ඔබගේ මුහුණේ ඇති සිදුරු වැසි යන අතර සමේ ආසාදන තත්ව පාලනය වේ.

04.ගස්ලබු සත්කාරය.

ගස්ලබු ඕනෑම සමකට සුදුසු වුවත් තෙල් සහිත සමකට එය වඩාත් සුදුසු වේ. මුහුණේ වයස්ගත පෙනුම අඩු කරගැනීම සදහා ගස්ලබු ඉතා සුදුසු සත්කාරයකි. භාජනයක් ගෙන එයට ගස්ලබු මේස හැදි දෙකක් දම ගන්න. එයට පැණි මේස හැන්දක් සහ දෙහි යුෂ ස්වල්පයක් එකතු කර මුහුණේ ගල්වන්න.

Source Link : lanka-hotnews

ආබාධිත පුද්ගලයන් රැක බලා ගත යුතු අයුරු

අපගේ අතපයවල වටිනාකම දැනෙන්නේ එහි කිසියම් ආබාධයක්‌ ඇතිවූ විටදීය. අතපය තුවාල වූ විට කැඩී බිඳී ගිය විට එදිනෙදා සාමාන්‍ය කටයුතු කරගත නොහැකි වන විට අතපයේ නිරෝගී බවෙහි ඇති අගය දැනේ. එසේ නම් උපතින්ම ආබාධ වූ අයට, යම් අනතුරක්‌ නිසා සදාකාලිකවම ආබාධිත තත්ත්වයට ලක්‌වූවන්ට, වයසට යන විට ආබාධ තත්ත්වයන්ට පත්වූවනට අප කෙතරම් සැලකිල්ලක්‌ දැක්‌විය යුතු නොවේද?

ආබාධිත පුද්ගලයන්ගේ ප්‍රවේශ පහසුකම් සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකිද?

ඉතා සරලව හැඳින්වුවහොත් ප්‍රධාන වශයෙන් කිහිලිකරු, කෘත්‍රිම පාදයත්, ඇවිදීම් රාමුවත්, සැරයටියක්‌, රෝද පුටුවත් භාවිත කරන අය ආබාධිත තැනැත්තකු ලෙස හැඳින්විය හැකි අතර ඇස්‌ නොපෙනෙන, කන් ඇසෙන සහ ශාරීරික දුබලතා සහිත වයෝවෘද්ධ බවට පත් වූ තැනැත්තකු එනමින්ම හැඳින්විය හැකිය. තවදුරටත් පැහැදිලි කරතොත් මේ කියවන ඔබත්, මමත් ජීවිතයේ කවර හෝ දිනක මේ තත්ත්වයට අයිති වන බවද කිව යුතුය.

එවැනි අයට ලංකාවේ ප්‍රවේශ පහසුකම් ගැන සෑහීමකට පත්විය හැකිද?

ප්‍රවේශ පහසුකම් යන වැකිය ගැන සරලව සොයාබැලුවහොත් පඩිපෙළවල්, දොරවල්, නාන කාමර, කොරිඩෝ, තරප්පු, ගෙදර බිම මෙන්ම වැඩකරන මේසවල, කුස්‌සියේ ඇති සින්ක්‌, කන්නාඩි, ජනෙල් ආදියේ මට්‌ටම් පිළිබඳ විවිධ දේ දැන ගැනීම සඳහාත් ඇති නාමපුවරුවල නිමාව පිළිබඳවත්, පොදු මංමාවත්වල පාර හරහා මාරුවීමට තනා ඇති ස්‌ථාන පොදු ගමනාගමනයට, පොදු නිවාස ගැනත් අපේ විශේෂ අවධානය ලක්‌කළ යුතුයි.

නූතන ලෝකයේ ආබාධිත අයගේ ප්‍රවේශ පහසුකම් සඳහා ඇති පිළිතුර වන්නේ Normalization හෙවත් සාමාන්‍යකරණය යි. එනම් ආබාධිත අයටත් විශේෂ විදියට නොසලකා සාමාන්‍ය අන්දමින්ම සැලකීම ආකල්පයයි. ඒ සඳහා (සාමාන්‍යකරණය) සඳහා බාධකවලින් තොර (Barrier free environment) වටපිටාවක්‌ නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය වේ. මේ සඳහා සැලසුම් ශිල්පීන් සහ වෛද්‍යමය දැනුම තිබිය යුතු වෘත්තිකයාගේ සම්බන්ධතාවය අනිවාර්ය වේ.

එසේම වටපිටාවේ ආබාධිත තැනැත්තා ස්‌වාධීන කිරීම සඳහා ප්‍රවේශ පහසුකම් ප්‍රමාණවත් නොවන අතර ශක්‌තිය අඩුවෙන් වැය කිරීම ආදිය සඳහා ආදේශක මෙන්ම ආබාධිත තැනැත්තාට පූර්ණ වශයෙන් සංවේදීතාවයෙන් සමායෝජකතාවයෙන් ශක්‌තිමත් බවින් අඩු බැවින් හදිසි අවස්‌ථාවකදී ඊට ක්‌ෂණිකව ප්‍රතිචාර දීමට අපහසු නිසා ඒවාටද පිළියම් යෙදෙන අයුරින් සැලසුම් යෙදීම අත්‍යවශ්‍ය වේ.

එබැවින් ප්‍රවේශ පහසුකම් සඳහා අවශ්‍ය නිර්මාණ කිරීමේදී ආබාධිත අයගේ රෝග නිර්ණය (Diagnosis) නොහැකියාව, ආබාධය, ආබාධිතයාගේ කාලසීමාව සහ සුවවීමට ඇති ප්‍රවණතාව, පැළඳ සිටින උපකරණය, සමායෝජකතාව, චලන රටාව, සමබරතාව ආදී වෛද්‍යමය පසුබිම් සහිතව කරුණු ගැන ද පොදුවේ කල්පනා කිරීම අත්‍යවශ්‍ය වේ. මේ කරුණු දෙස බැලූ කල ප්‍රවේශ පහසුකම් සඳහා පහත සඳහන් වන සැලැස්‌මවල් සහ යෝජනා බොහෝ දුරට නිවැරැදි වේ.

ඇතුළුවන දොරටුවේ පළල අඩුම වශයෙන් අඩි 3 ක්‌ ප්‍රමාණවත් විය යුතු අතර එම දොර අංශක 180 ප්‍රමාණයට විවෘත කළ හැකිවිය යුතුය.

දොරෙන් ඇතුළත මෙන්ම දොරෙන් පිටතද පොළොව එක සමාන මට්‌ටමේ පැවැතිය යුතුය.

ගෙදර අංකය පැහැදිලි ලෙස මෙන්ම විශාලව දොර ඉදිරිපස දර්ශනය විය යුතු අතර (Luminus) රාත්‍රි කාලයේ දී දර්ශනය කිරීමට හැකි විය යුතුය. ඇස්‌ නොපෙනෙන අය සඳහා මේ ඉලක්‌කම් පිටට නෙරා සිටින සේ (Raised Numbers) සකස්‌ කළ යුතුය.

ඇරෙන දොරවල්වලට වඩා හැකි සෑම විටම සමාන්තරව තල්ලුවන (Sliding door) දොරවල් සැකසීමට පියවර ගත යුතුය.

දොර හැඬලයක්‌ සෑම විටම විශාල විය යුතු අතර සරල විය යුතුය (ලීවරයක්‌ මෙන්).

පොළොව සෑම විටම ලිස්‌සන ගතියෙන් තොර විය යුතුය. ගැටිතිවලින්, උස්‌ පහත් වීම්වලින් තොරවිය යුතුය. රළු පිඟන් ගඩොල් යෙදීම සුදුසුය. එසේම විශාල ප්‍රමාණයේ නොවන කෙටි ප්‍රමාණයේ (1′ x 1′) වැනි පිඟන් ගඩොල් යෙදීම සුදුසුය.

එසේම පොළොව සඳහා 0.5″ කට වඩා ඝනම සහිත සාමාන්‍ය රළු කාපට්‌ නිර්දේශ කළ හැකිය.

විශේෂයෙන්ම පඩිපෙළවල් භාවිත කිරීමට වඩා ආනත තලය භාවිත කිරීම (Ramp) කෘත්‍රිම පාද, කිහිලිකරු, සැරයටි භාවිත කරන අයට සුදුසු වේ.

පඩිපෙළවල් තිබේ නම් සෑම පඩි 2 කටම වරක්‌ නැවතී ගිමන් හැරීමට විශාල පළල සහිත පඩියක්‌ නිර්දේශිතයි. පඩියක උස අඟල් 6 සහ පළල අඟල් 11 ප්‍රමාණවත් වීම අනිවාර්ය වේ. පඩියේ දාරය පැහැදිලිව පෙනෙන ලෙස වර්ණයකින් (Luminus) ආලේප කළ යුතුය. අත් ආධාරකවල උස අඟල් 30-34 අතර විය යුතු අතර බිත්තියේ සිට අඟල් 2 පමණවත් පරතරයක්‌ තිබිය යුතුය. එසේම බිත්තිවල පින්තූර ආදිය නොඑල්ලා පැහැදිලිව තිබිය යුතු අතර (අවධානය වෙනස්‌ නොවීම සඳහා) ඉහළින් සහ පහළින් පඩිපෙළ ආලෝකමත් විය යුතුය (හෙවණැලි නොවැටෙන සේ).

ආනත තල (Ramps) ආනත තලයක සෑම විටම ලිස්‌සන ස්‌වභාවයෙන් තොරවිය යුතුය. අවම වශයෙන් අඟල් 4 පමණ පළල් විය යුතුය. ආනතිය 1:12, 1:20 රෝද පුටු භාවිත කරන අයට සුදුසු වේ (ආයාසයකින් සහ ආධාරයෙන් තොරව තනිව ගමන් කළ හැකි බැවින්). ආනත තලයක්‌ අඩි 25 කට වඩා දික්‌වේ නම් එම මැද කොටසේ අඩි 5 ක ප්‍රමාණයක Flat Form එකක්‌ ගිමන් හැරීම සඳහා අවශ්‍ය වේ. එලෙසින්ම ආනත තලයේ දිශාව වෙනස්‌ වේ නම් එම ස්‌ථානය ද Flat Form එකක්‌ අවශ්‍ය වේ. ආනත තලය සඳහා අඟල් 24-32 අතර උස ප්‍රමාණයෙන් අත් ආධාරකත් තිබිය යුතුය.

ජනේල සඳහා සමාන්තරව තල්ලු කරන ජනේල සුදුසු වේ. ලෙහෙසියෙන්ම ග්‍රහණය කරන ලෙසින් මෙන්ම ළඟාවිය හැකි හැඩතල අවශ්‍යයි. විදුලි බල්බයක්‌ සඳහා ස්‌විචයන්, අඩි 2 අඟල් 10 සහ අඩි 3 අතර උසකින් සවිකිරීම හෝ ටැප්හැඬලය වර්ගයේ ස්‌විචයක්‌ වඩාත් යෝග්‍යයි.

නාන කාමර සඳහා අඩුම වශයෙන් වර්ග අඩි 40-45 ත් අතර බිම් ප්‍රමාණයක්‌ අවශ්‍යයි. පොළොව නොලිස්‌සනසුලු විය යුතු අතර සියලුම නාන කාමර උපකරණ රෝද පුටුවේ සිට ක්‍රියාත්මක කළ හැකි උසකින් තිබීම වැදගත්ය. බිත්තියට grab bars (අල්ලා ගැනීමට) සවිකර තිබිය යුතුය.

වැසිකිළි සඳහා කොමඩ් සවිකර තිබිය යුතු අතර අඟල් 17 ක්‌ පමණ උස්‌විය යුතුය. grab bars අඟල් 19 ක්‌ පමණ උසින් සවිකර තිබිය යුතුය. කොරිඩෝරයක පළල අඩුම වශයෙන් අඩි 4 ක්‌ වත් විය යුතුය.

පදුම ඩී. යාපා, ලේකම්, ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ වෘත්තීය චිකිත්සක සංගමය
වැඩබලන වෘත්තීය චිකිත්සක අධිකාරී පුනරුත්ථාපන රෝහල, රාගම.
සාකච්ඡා කළේ සමන් උපුල් පිනිදිය
ලිපි මුලාශ්‍රය – දිවයින පුවත්පත

Source Link : Wishma Lokaya