කුවේණි එදා අපේ රටට පළි ගැහුව සාප 9 මෙන්න

රාවණා රජුගේ ලේ නෑයන් වන රවිශෛලාෂ පරපුරෙන් පැවැතෙන වර්තමාන ලේ නෑයකු වන දම්සරා ශ්‍රී පාලි ප්‍රථම වරට මාධ්‍යයකින් කරන හෙළිදරව්ව වන ‘කුවේණිගේ සාපය සහ එයින් ගැලවෙන මඟ’ පිළිබඳ වන මෙම ලිපිය ඔබ නොදත් බොහෝ දේ ඔබට කියාදෙනු ඇති.

රාවණා රජ්ජුරුවන්ගෙ පුතෙක් තමයි උපේන්ද්‍ර මිණික. ඔහු අයිති රවිශෛලාෂ පරපුරට. රවිශෛලාෂ කියන වචනෙ සිංහල තේරුම වෙන්නේ ඉරුගල් බණ්ඩාර කියන නම. මේ ඉරුගල් බණ්ඩාර එහෙමත් නැතිනම් රවිශෛලාෂ පරපුරේ හිටියා විකුම්ඨභද්‍ර කියලා යක්‍ෂ සෙන්පතියෙක්. ඔහු රාවණා පරපුරේ ප්‍රාදේශීය රාජ්‍ය පාලකයෙක්. ඔහුගේ පාලන කාලයේ තමයි බුදුන් වහන්සේ ලංකාවට වැඩම කළේ.

මසිතිපාලි කියන්නේ රාවණාගේ පරපුරේ ඒ කියන්නේ යක්‍ෂ ගෝත්‍රික පරපුරේ කාන්තාවක්. ඇය රාවණාගේ ඥාතිවරියක්. මේ මසිතිපාලි විවාහ වෙන්නේ විකුම්ඨභද්‍ර සෙන්පතියත් එක්ක. මේ විවාහෙන් මේ දෙන්නට දරුවෙක් ලැබුණා. ඇය දියණියක්. මේ දියණියගෙ නම තමයි කුවේණි. ඇයට කුවේණිය කියලා කිව්වට ඒක ඇත්ත නම නෙවෙයි. ඇත්ත නම වුණේ කෞරාණපාලි කියන නම. මේ කෞරාණපාලි තමයි පසු කාලෙක මහාපාලි වුණේ. ඇයට ඒ නම ලැබුණෙ ප්‍රාදේශීය පාලක තනතුරක් ලැබුණ හින්දා.

කුවේණිට විජය මුණගැහෙන්නේ ඇය අධිපතිකම් කරපු ප්‍රදේශයේදි. විජය ලංකාවට එනකොට කුවේණි කපු කටිමින් හිටිය බව ඇත්ත. ඒ වුණාට ඇය ඒක කළේ වෘත්තීය මට්ටමින් නෙවෙයි. හෙළ කුල සිරිත් අගයන කාන්තාවන් විවේකය ගත කළේ යම්කිසි වැඩක නිරත වෙමින්. කුවේණිය විවේක ගත්තේ කපු කැටීමෙන්. ඒකට හේතුව වුණේ කුවේණිගේ පරිපාලන විෂයක් විදියට කපු කර්මාන්තය තිබුණු හින්දා. දේශීය කර්මාන්තයක් වුණු කපු කර්මාන්තය නඟාසිටුවීම ඒ රාජකාරියේ ප්‍රධාන කොටස වුණා.

අදින් අවුරුදු දෙකකට විතර කලින් ‘මව්බිම’ එක්ක මේ මානාකන්ද ගවේෂණය කරපු වෙලාවෙ සැඟව ගිය ඓතිහාසික විස්තර ගොඩක් අපි හොයාගත්තා. ඒ තොරතුරුවලට අනුව මේ මානා කන්දේ එක තැනක තියෙනවා විශේෂිත ස්ථානයක්. ඒකට කියන්නෙ බිසෝග්‍ර කියලා. මේ ස්ථානය තමයි කුවේණිය ගුප්ත විද්‍යාව ප්‍රගුණ කරපු තැන. ඒ වගේම දැහැන්වලට සමවැදුණු, වරම් ලබාගත්තු තැන. කුවේණියට හිටියා නංගි කෙනෙක්. ඇගේ නම වුණේ සත්තමුදී. මේ සත්තමුදී කියන්නෙ ඉසිවර භාවයට පත්වෙච්ච තැනැත්තියක්. මේක පැහැදිලිවම ලංකා-ඉන්දියන් ඉතිහාසයේ ලියැවිලා තියෙනවා. මේ සත්තමුදි කියන ඉසිවරිය මානාකන්දේ වැඩ සිටියා. ඇය වැඩ සිටි අසපුව අදටත් තියෙනවා මේ මානාකන්දේ නෂ්ඨාවශේෂ නටබුන් අස්සේ.

මේ කුවේණිය විජය එක්ක විවාහ වෙන එකට කුවේණියගෙ පැත්තෙ නෑදෑයො තනිකරම විරුද්ධ වුණා. ඒක එහෙම වුණේ කුවේණි අයිතිවෙච්ච රාවණා පරපුර හිස් මුදුනින්ම යක්‍ෂ ගෝත්‍රික සිරිත් විරිත් ආරක්‍ෂා කරපු, ඒ වෙනුවෙන් ජීවිතේ පුදන්න හරි සූදානම් වෙලා හිටිය ගෝත්‍රික පිරිසක් හින්දා. ඔවුන් ඉතාමත් තදබල විදියට අදහපු දෙයක් තිබුණා. ඒ යක්‍ෂ ගෝත්‍රික සිරිත් විරිත් කඩන ඕනෑම කෙනෙක් යක්‍ෂ ගෝත්‍රික පරපුරෙන් නෙරපා දැමිය යුතුයි කියන නියමය.

යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ පරම්පරා ඉතිහාසය ලියැවිච්ච වරිග පූර්ණිකා පුස්තකයේ ඒක ලියැවිලා තියෙන්නෙ මේ විදියට. වංශික සංස්කෘතිය අනුව ජීවත් විය යුතුය. නොගැළපෙන ගෝත්‍රයන් හා විවාහ නොකළ යුතුය. පරපුරේ අනන්‍යතාව සුරැකිය යුතුය. පරපුර පාවා නොදිය යුතුය. අන්‍ය ජාතික චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය නොකළ යුතුය. අන්‍ය ගෝත්‍රිකයන්ට යටත් නොවිය යුතුය.

කුවේණි මේ යක්‍ෂ ගෝත්‍රික චාරිත්‍ර වාරිත්‍රවල මූලධර්මයන්ගේ ඉඳලා අනෙකුත් නීතිරීති කඩලා තමයි විජය එක්ක විවාහ වෙන්නෙ. මේ හේතුව උඩ කුවේණිය යක්‍ෂ ගෝත්‍රික පරපුරෙන් එළවනවා. වරිග තහංචි පනවනවා. වරිගෙන් පිටකරපු කුවේණි විජයත් එක්ක ජීවත් වෙනවා. මේ වරිග තහංචි පනවන්නෙ වරිග සභාවක් කැඳවලා. ඒකෙදි දෙපැත්තෙම කරුණු විමසලා.යක්‍ෂ ගෝත්‍රික වරිගෙන් පන්නපු කුවේණිය විජයත් එක්ක ජීවත් වුණත්, අන්තිමට විජය ඇය අතහරිනවා. මෙතැනදී විජය ඇය අතහැරපු හේතු මොනවද කියලා පැහැදිලි වෙන්නෙ නෑ. ඒ වුණාට විජය පඬුවස්නුවරදී ඉන්දියාවෙන් ගෙන්නපු භද්දකච්චානා කුමරියත් එක්ක විවාහ වෙනවා.

තමන්ගෙ වරිගෙත් එපා කියලා විජයත් එක්ක ආපු කුවේණි මෙතැනදී තවත් අසරණ වෙනවා. එතැනදී කුවේණිගේ හිතේ නැඟෙන්නේ වෛරයක්. පළිගන්න චේතනාවක්. ඒ වෙලාවෙ කුවේණි සාප කරනවා. වරිග පූර්ණිකාවෙ එන කුවේණිගෙ සාපය පටන් ගත්තෙ ඒ විදියට. මේ වෙලාවෙ කුවේණි සාප කළේ විජයට විතරක් නෙවෙයි. ඒ සාපය තුන්ගොල්ලකට වැදුණා. වරිග පූර්ණිකා පුස්තකයේ ඒක කියන්නෙ මේ විදියට.

යක්‍ෂ ගෝත්‍රික පරපුරට කළ සාපය.
විජයගේ පරපුරට කළ සාපය.
විජය කුවේණිගේ පරපුරට කළ සාපය.

කුවේණිගේ මේ තුන් පරපුරට කරපු සාප එක්කම එදා හෙළ දිවයිනටත්, අෑ ලංකාවටත් සාප කළා. ඒ සාපය හරි භයානකයි. කෘෘරයි. කුවේණි ඒ සාපෙ කළේ ඇඟේ උතුරලා කකියන ලේවලට එකතු කරලා. එහෙම සාප කරපු කුවේණි ඉතා බිහිසුණු සාප හතක් කළා. කුවේණි එදා දිවුරලා කිව්වා මේ සාප වර්ගවලින් ලංකාවත්, ඒකෙ මිනිසුන්වත් බේරෙන්නෙ නෑ කියලා.කුවේණිගෙ සාප වර්ග නවය ගැන ලියැවිච්ච පොතක් තියෙනවා.ඒ පොත ගැන මෙච්චර කාලයක් කාටවත් කිව්වෙ නෑ. ඒක වරිග පූර්ණිකා පුස්තකයටත් එහා ගිය පොතක්.

ඒ පොතේ නම තමයි යගු කෞරාණ මඩිය. ඒකෙ කුවේණිගෙ සාප වර්ග නවය මේ විදියට ලියලා තියෙනවා.කුවේණිය කෙස් වැටියෙන් වතුර අරගත්තා. මේ විදියට වතුර අරගත්තෙ මානාකන්දෙ දිය උල්පතකින්. උල්පත අදටත් තියෙනවා හැංගිලා. මේ කෙස් වැටියට අරගත්තු වතුර මුහුදට විසි කළා. ඒ ලංකාවෙ හතර පැත්තෙන්. මෙතැනදී කුවේණිගෙ සාපය වුණේ ලංකාව හතර පැත්තෙන් විනාශ වේවා කියන සාපය.

දෙවැනි සාපයට කියන්නේ චාපූර්ණ සාපය කියලා. මේ සාපයෙන් කුවේණි කළේ සිංහල ජනතාවට නායකත්වය දෙන නායකයන් විනාශ වේවා කියන දේ. තුන්වැනි සාපය වුණේ විථුල සාපය. මේ සාපය හින්දා අපේ ජාතිය, පිටස්තර ජාතීන් ආක්‍රමණය කරලා විනාශ කරලා දානවා.හතරවැනි සාපයට කිව්වෙ පග්ගි මවුරි කියලා. මේ රටේ සිංහලයාගේ අපේකම, ලේ බැඳීම නැතිවේවා. එකාට එකා කා කොටා ගනිල්ලා.

පස්වැනි ශාපය වුණේ නිමි මිනිස කියන සාපය. මේ සාපය කුවේණි කෙරුවේ ලංකාව මැදින් දෙකට කැඩිලා මුහුදට ගිලීයන් කියන වෛරයෙන්. හයවැනි සාපයට කිව්වෙ තග්නිකා කියලා. මේකෙන් කියන්නෙ ලංකාවෙ බුද්ධිය හීනවූ ජාතියක් ගොඩනැඟියන් කියලා.හත්වැනි සාපය විදියට තියෙන්නේ හරිවිත් සාපය. මේකෙදි කුවේණි කළේ මුහුදු විපත්, සුළං විපත්, වර්ෂාවෙන් විපත් ලැබේවා කියල පළිගැනීම. අටවැනි සාපය වුණේ හොඳ කරන්න බැරි ලෙඩ දුක් වහ වහා පැතිරේවා කියලා. කුවේණි නවවැනි සාපයෙන් කළේ මහ මුහුදේ පාවෙන ලී දණ්ඩක රළ පාරට අහුවෙලා තැන තැන ගහගෙන ගිහින්, ගිලෙමින් යනවා වගේ කිසිදු ප්‍රතිපත්තියක් නැති මිනිසුන් ලංකාවේ බිහිවේවා, විනාශ වේවා කියන දේ.

කුවේණි කරපු මේ සාප නවය හරි බිහිසුණුයි. කුවේණිගේ හිතේ මේ වගේ භයානක සාප ඇතිවෙන්න තරම් වෛරයක් ගෙනාවෙ තමන්ගෙම පරපුරයි, විජයගෙ පරපුරයි කියන එක කුවේණිගෙ හිත ඇතුළෙ තිබිච්ච දෙයක්. ඒ වගේම තමයි විජයයි, විජයගෙ පිරිසයි ගැන වෙනමම වෛරයක් තිබුණා. තමන්ගෙ වරිගයත්, මේ හෙළ දිවයිනත් විනාශ කරන්න ආපු හතුරො කියලා කුවේණි හිතපු හින්දා. මෙතැනදී කුවේණිට ඕන වුණේ තමන්ට මේ දේ කරපු උන්ගෙන් පළිගන්න. ඒ හින්දයි තමන්ගෙ ජාතිය ගැනවත්, පරපුර ගැනවත් කුවේණි අනුකම්පාවක් දැක්වුවෙ නැත්තෙ.

කුවේණි මේ සාපෙ කරන කාලෙ යක්‍ෂ ගෝත්‍රිකයන් වර්ග හතරක් එදා මේ රටේ හිටියා. ඒ හතර තමයි රවිශෛලාෂ, කේවේසස්ථාන, මිණිමිහිල, රක්ඨාන. ඒ විදියට බලනකොට යක්‍ෂ ගෝත්‍රිකයන් එදා මේ හෙළ දිවයින පුරාම පැතිරිලා හිටපු ජාතියක්. අපි කුවේණිගෙ සාපය බරපතළ නෑ කියලා හිතනවා නම් ඒක ඉතාම වැරැදි දෙයක්. බුදු හාමුදුරුවො ජීවමානව හිටි කාලයෙත් හිටිය යක්‍ෂ ගෝත්‍රිකයන් අද නෑ. විජයගෙ කට්ටියත් අද නෑ. ඒ වුණාට ඒ සාපෙට අහුනොවෙච්ච කොටසකුත් හිටියා. ඒ බුදුන් සරණ ගිය ගෝත්‍රිකයන්. මේක මෙහෙම වුණේ බුදු දහම පදනම් කරගත්තු සදාචාර ධර්මයේ පිහිටිය හින්දා. මේක වරිග පූර්ණිකා පුස්තකයේ මේ විදියට ලියලා තියෙනවා.

‘සිරි රවිශෛලාෂ රකුන් බලාහු බලපති තේජසිරි ගුණකර දැහැන් ප්‍රවිධ රකුන් පේනි සිරි ගෝතම සුවස් සම්බෝධි තෛ්‍රලෝකාග්‍ර පීතෘන් මැවි.’මේ ඒ කොටසෙ සිංහල තේරුම. රවිශෛලාෂ යක්‍ෂ ගෝත්‍රයේ අධිපතියා ලෙස ගෞතම බුදුන් වහන්සේ සලකන්න.

මේ කුවේණිගෙ සාපයට ඕනෑතරම් උදාහරණ තියෙනවා. බලන්න පඬුවස්දෙව් රජ්ජුරුවන්ගෙ දුවට වෙච්ච දේ. ඒ කියන්නෙ උන්මාද චිත්‍රාට. උන්මාද චිත්‍රාට උපදින දරුවා මාමාවරුන් මරනවා. ඒක එහෙමම වුණා නේද?

අපේ සිංහල රට රජවරු කීදෙනෙක් රජකම් කළාද? පාලනය කළාද? ඒ එක රජකෙනකුටවත් නිදහසේ තමන්ගෙ රට පාලනය කරන්න ලැබුණද? නෑ නේද? ඒ ඇයි? කුවේණිගෙ දෙවැනි ශාපය චාපූර්ණ සාපය හින්දා.

මේ විදියට කරන සාපයන් පලදෙන්න නම් ඒ සාප කරන කෙනා ඒකට සුදුසු වෙන්න ඕන. කුවේණිට ඒ සුදුසුකම් තිබුණා. ඒ හින්දා කුවේණි අධිෂ්ඨාන හතරකින් සාප කළා. ඒ හතර වුණේ පතිවාත්තතා අධිෂ්ඨානය, පංච අධිෂ්ඨානය, අෂ්ට අධිෂ්ඨානය, සමාපත්ති අධිෂ්ඨානය. පළමුවැනි එක පතිවාත්තතා බලයත්, දෙවැනි එක දැහැමි බලයත්, තුන්වැනි එක අධිෂ්ඨාන බලයත්, හතරවැනි එක මන්ත්‍ර බලයත් විදියටයි කුවේණි සාපයට අරගත්තෙ. අපි තේරුම් ගන්න ඕන එක දෙයක් තියෙනවා මෙතැනදී. ගෑනියෙකුගෙ වචනත්, කඳුළුත් සාපයකදී සාපයක්ම වෙනවා කියලා.

මෙතැනදී කුවේණිගෙ සාපයෙන් ගැලවෙන්න ඕන විදියත් මේ කුවේණිගෙ සාපය ගැන කියන පුස්තකයේම ලියලා තියෙනවා මේ විදියට. හරි විදියට, නිවැරැදිව බුද්ධාගමේ පිහිටන්න. අදහන්න. කුවේණියට පින් දෙන්න. මේ සාපය ඉවත් කළ හැක්කේ පත්තිනි දෙවියන්ට පමණයි. ඒ හින්දා පත්තිනි මෑණියන්ට කියලා කුවේණිගෙ සාපය ඉවත් කරන්න නියම කරන ලද සෙත් ශාන්තිකර්ම කරන්න. ඒ සඳහා කන්‍යා කුමාරි දානය දෙන්න. කොහොඹා කංකාරිය කරන්න. කිරි අම්මාවරුන්ගේ දානය දෙන්න, වියපත් අම්මාවරුන්ගේ දානය දෙන්න.

කුවේණිය හැමවිටම පතිවෘත්තතා ධර්මය ආරක්‍ෂා කරපු කාන්තාවක්. විජය අතෑරියට පස්සෙ වෙන පිරිමියෙක් ප්‍රාර්ථනා කළේ නෑ. බුදුන් සරණ ගිහින් අන්තිමට බිම්බා මහරහත් තෙරණිය ලංකාවට වැඩිය වෙලාවෙ ඒ තෙරණිය ළඟ පැවිදි වුණා. ඒ පැවිදි ආරාමය අදටත් තියෙනවා. බිම්බා මහරහත් තෙරණිය වැඩ විසූ ගල් ගුහාව අදටත් තියෙනවා. ඒ ගල් ගුහාවට පහළින් කුවේණිය මහාපාලි විදියට පැවිදි වෙලා වාසය කරපු ගල්ගුහාව අදටත් තියෙනවා. අද ඒක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සංරක්‍ෂණය කරලා.

මේ මහාපාලි මෙහෙණියගේ ගල්ගුහාවෙ කුවේණියගෙ හිස නැති ශෛලමය ප්‍රතිමාවක් තියෙනවා ඒ කාලෙ ඇඳුම් ආයිත්තම්වලින් සැරැසිච්ච.හැමතිස්සෙම අපි කුවේණිය පුදන්න ඕන. කුවේණිය වෙනුවෙන් දෙවොලක් අවම ශ්‍රමයෙන්, මුදලින් හදන්න ඕන. ඒ දේවාලය ඇතුළෙ කුවේණිගෙ පතිවෘත්තා බලමහිමය, ගුණය අපි නිතර නිතර සිහිපත් කරන්න ඕන. ඒ ගැන හිතලා කුවේණියට පුදපූජා තියන්න ඕන. මේ විදියට කරන ගමන් අපි කුවේණිට කන්නලව් කරන්න ඕන. ඒ කන්නලව්වෙන් අපි කරන්න ඕන කුවේණියගෙන්ම මේ සාපය අයින් කරලා දෙන්න කියන ඉල්ලීම.

කුවේණිගෙ ආත්මය අදටත් මේ ලංකාවෙ සැරිසරනවා. රැඳිලා තියෙනවා. මේ සාපය ක්‍රියාත්මක වෙන දිහා බල බලා කුවේණි කේ‍රා්ධයෙන් දැවි දැවී ඉන්නවා. පස්සෙ කාලෙක කුවේණි මහාපාලි විදියට මෙහෙණිවර ලැබුවා. නමුත් ඇය කළ සාපයත්, කේ‍රා්ධ වෛරී හිතත් හින්දා ඇය පාපකාරී සාපයෙන්ම තවමත් දැවි දැවී ඉන්නවා.මේ වෛරය තවදුරටත් මේ විදියටම තියෙන්න බෑ. රාවණා පරපුරේ යක්‍ෂ ගෝත්‍රික කාන්තාවක් විදියට මේ සාපයට මගේ රටත්, මගේ ජාතියත් අහුවෙලා විනාශ වෙනවා බලාගෙන ඉන්න මට බෑ. ඒ හින්දා කුවේණි අයිති රාවණා පරපුරේ ලේ නෑයො විදියට මටත් තියෙනවා වරිගයෙ යුතුකම් ඉටුකිරීමක්. ඒක මගේ වගකීමක්.

මං මේ කුවේණි සාපයෙන් ලංකාව බේරගන්න උත්සාහ කරනවා. රාවණාගෙ පරපුරේ කුවේණිගෙන් වෙච්ච වැරැද්දෙන් වරිගයට එකතු වෙච්ච කැළල මකාදාන්න තියෙන එකම විදිය. වරිගයෙ නැතිවෙලා ගිය ගෞරවය ආපහු වරිගෙට ලබාගන්න තියෙන එකම ක්‍රමය.කුවේණියගේ සාපයෙන් රටත්, ජාතියත් බේරාගන්න ඕන කරන මේ පූජා ඔක්කොම හරියට කරලා කුවේණි සාපෙන් මේ රට නිදහස් කරගත්තු දවසට කුවේණිගෙ ආත්මයටත් හොඳ යහපතක්ම වේවි. ඇය විවාහයේ අවසාන මොහොතේ කළ පින්කම් හින්දා හොඳ තැනක උත්පත්තිය ලබාවි.

අරුණඩේල් විජේරත්න

Source Link : Wishma Lokaya

රුපියල් දහසේ නෝට්ටුවේ ඇතා අසල සිටින හිස්වැසුමක් ලා ගත් මිනිසා ගැන ඔබ නොදත් කතාව

රුපියල් දහසේ නෝට්ටුවේ ඉදිරිපස මුද්‍රණය කර ඇති හස්ති රාජයා සහ ඒ අසලින් හිස් වැස්මක් පැලද සිටින මිනිසා පිලිබදව අපූර්ව වූ කතා පුවතක් ගෙතී ඇති බව ඔබ දැන සිටියාද? එහි සිටින ඇතා සහ එම හිස් වැස්මක් පැලද සිටිනා මිනිසා යන දෙදෙනාම නැගෙනහිර පලාතේ බව සහ එම මිනිසා මුස්ලිම් ජාතිකයෙකු බව ඔබ දැන සිටියාද?

ඔහු නමින් උමාර් ලෙබ්බේ පනික්කාර් වන අතර ඔහු මඩකලපු දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 1925 දී මොහු විසින් මෙම හස්ති රාජයාව අල්ලා ගනු ලැබූ අතර පසුව ඔහු විසින් ඌව හීලෑ කර ඇත. පසු කලෙක ඔහු මෙම ඇතාව දළදා මාළිගාවට පරිත්‍යාග කරනු ලැබීය.

ශ්‍රී දළදා මාළිගාවේ ඇත් පන්තියට එක්වූ මේ හස්ති රාජයා රාජා නමින් නම් කල අතර දළදා කරඩුව වැඩමවීමේ මංගල හස්ති රාජයකු සතුවිය යුතු සියළු සුදුසුකම් සපුරා තිබිණි.ඉතා හොඳින් වැඩුණු සිරුරක් හිමි මේ සත්ත්වයා හිස ඉතා ඍජුව ඔසවා තේජාන්විත ගමන් විලාසයක් ඇත්තෙකි. මංගල හස්තියකුගේ අංග හතක් පොළවේ ස්පර්ශ විය යුතුය යන්න පිළිගැනීමයි. රාජගේ හොඩය, පාද හතර, වල්ගය සහ ලිංගය බිම ස්පර්ශ වේ. පිට පැතලි ස්වභායක් ගනී. තම ඇත්ගොව්වාට අතිශය කීකරු මේ හස්ථියා තීක්‍ෂණ බුද්ධියකින් ද යුතු බව දළදා මාළිගාවේ සැමට අවබෝධ වන්නට වැඩි කළක් ගියේ නැත.

1938 දී කරඩුව ගෙන යන ඇතාගේ පරිවාර හස්ථියකු ලෙස පෙරහරේ ගමන් ඇරඹූ රාජා ඇතා වැඩි කළක් නොගොස් දළදා කරඩුව වැඩමවීමේ භාරදූර කර්තව්‍යයට උරුමකම් කීවේය. මිය යනතුරු අඩ සියවසකට ආසන්න කාලයක් දළදා කරඩුව වැඩමවූ රාජා හස්ථියා මෙරට ජනතාවගේ පමණක් නොව සමස්ථ ලෝක ප්‍රජාවගේ ගෞරවාදරයට පාත්‍ර වෙද්දී 1986 අගෝස්තු විසිවැනි දින ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත්කරන්නට එවකට පැවති රජය කටයුතු කළේය.

කෙමෙන් කෙමෙන් වයෝවෘද්ධව 65 වැනි වියට පා තබා සිටි රාජා 1987 ජනවාරි මස 01 වැනිදා සිදුවූ රිය අනතුරකින් ඔත්පල වූයේය. ක්‍රමයෙන් පිටුපස පණ නැතිවීමේ අවදානමකට ලක්වූ මේ හස්ති රාජයා දියවඩන නිලමේ වරයාගේ නිල නිවස අසළ සැකසුණු මණ්ඩපයක ප්‍රතිකාර ලබමින් සිටියදී 1988 ජූලි මස 16 වැනි දින පෙරවරු 10.16 ට මෙළොව හැර ගියේය.

මෙරට ජනතාවගේ පමණක් නොව සමස්ථ ලෝක ප්‍රජාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ රාජා හස්ති රාජයා දළදා මාළිගාවට පරිත්‍යාග කල උමාර් ලෙබ්බේ පනික්කාර්ට ගෞරවයක් වශයෙන් ඔහුව රුපියල් 1000 නෝට්ටුවේ රාජාගේ සමීපයෙන් මුද්‍රණය කරන්නට තීරණය කරන ලදී.

ඒ සම්බන්ධයෙන් බුදුසරණ පුවත්පත පලකළ ලිපියක මෙසේද දැක්වෙයි.

කාන්තිමත්,ශාන්ති නායක, තිලෝගුරු, සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සුවාසු දහසක් ධර්මස්කන්ධයෙහි පහස ලද වාම ශ්‍රී දළදා වහන්සේ උදෙසා වසරක් පාසා සිදු කෙරෙන උත්තරීතර පූජෝපහාරයක් වශයෙන් ඓතිහාසික සෙංකණ්ඩ ශෛල පුර නබෝ ගැබ හේවිසි, හොරණෑ, ගැටබෙර නාදයෙන් ගිගුම් දෙවමින්, සැදැහැවතුනගේ සාදු නාදය මධ්‍යයේ ඇසළ පෙරහර වීදි සංචාරය කරන පුණ්‍යවන්ත කාල වකවානුවයි මේ.

ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ලොවට හඬගා කියන අනුපමේය සංස්කෘතික මංගල්‍යය කල එළි බසිද්දී සුදු පියවිලි මත සර්වාභරණයෙන් විභූෂිතව, දෑලේ ඇතුන් සමගින්, නයියණ්ඩි හා උඩරට නර්තන කණ්ඩායමක් පෙරටු කරගෙන ගජගා වන්නමේ තාලයට පාද තබමින් මංගල හස්තිරාජයා පෙරහර කරඬුව වැඩම කරගෙන ඉදිරියට එද්දී අප කාගේත් සිත් මෙයින් දශක දෙකකට පෙර අතීතයට දිව යන්නේ නිරායාසයෙනි. ඒ අන් කිසිවක් නිසා නොව ශ්‍රී දළදා මාළිගයේ මංගල හස්ති රාජයා වූ ‘රාජා’ සිහිපත් වීම නිසයි.

මඩකලපු දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ පදිංචිව සිටි වෘත්තියෙන් අලි අල්ලන්නෙකු වූ උම්මාරු ලෙබ්බේ නමැත්තා රජයෙන් ලබාදෙන බලපත්‍ර අංක 1318 යටතේ 1925 වසරේ ජනවාරි මස 5 වනදා මන්නාරම් ප්‍රදේශයේ ඝන වනාන්තරයේ දී ඇත් පැටියෙකු අල්ලා ගන්නා ලද්දේ ය. එවිට වයස අවුරුදු දොළහක් පමණ වූ එම ඇත් පැටවා අඩි හතර හමාරක තරම් උසකින් යුක්ත වූ බැව් කියැවේ. උම්මාරු ලෙබ්බේ එසේම අල්ලාගත් තවත් ඇත් පැටවෙකු ද සමග මෙම ඇත් පැටවා යටිනුවර, ගිරාගම වලව්වේ පදිංචි විශ්‍රාමලත් රටේ මහතෙකු වූ ටිකිරි බණ්ඩාර මාම්පිටිය දිසාවට 1925 වසරේ දෙසැම්බර් මස 11 වන දින රු.3,300/- ක මුදලකට විකිණීමට කටයුතු කළේ ය.

එම වසරේම දෙසැම්බර් මස 30 වැනි දින මඩකලපු දිසාපති වෙනුවට වැඩ බැලූ නිලධාරි මහතෙකු වූ විශ්වලිංගම් නමැත්තෙකු විසින් මඩකලපුව සිට වාලච්චේනේ, තෝපාවැව, මාතලේ හරහා මහනුවරට ඇත්පැටවා ප්‍රවාහනය කිරීම සඳහා නිකුත් කෙරුණු බලපත්‍රයකට අනුව ඇත්පැටවා මහනුවරට ගෙනැවිත් තිබේ.

මෙම ඇත්පැටවුන් දෙදෙනා මාම්පිටිය දිසාවේගේ සුරතලුන් වශයෙන් ගිරාගම වලව්වේ කෙළි දෙළෙන් හැදී වැඩුණ හ. එක් ඇත් පැටවෙක් නමින් ‘රාජා’ විය. අනෙක් ඇත් පැටවා ‘දත් පූට්ටුවා’ නම් විය. ‘රාජා’ ඇත් පැටවා කුඩා කල බරපතල ලෙස රෝගාතුර වූ අතර තම සුරතලා සුවපත් කර දෙන ලෙස ඉල්ලා මාම්පිටිය දිසාවේ අලුත්නුවර දේවාලයට බාරයක් වූ බව කියැවේ. අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ රාජා සුවපත්වූයෙන් දිසාවේ බාරය ඔප්පු කරන ලදි. කෙසේ වෙතත් එතුමන් වයෝවෘද්ධභාවයට පැමිණි නිසාවෙන් රාජාත්, අනෙක් ඇත් පැටවාත් මහනුවර ශ්‍රී දළදා මාළිගයට පූජා කිරීමට තීරණය කෙරිණි.

එකී තීරණය ක්‍රියාවට නගමින් 1937 වසරේ ජූලි මස 31 වන දින ඇසළ පුර පසළොස්වක පොහොය දිනයක් වූයෙන් එදින මහනුවර දී අස්සන් කළ ඔප්පුවකින් ඇත් පැටවුන් දෙදෙනාගේ අයිතිය ශ්‍රී දළදා මාළිගයට පැවරිණ. එවකට රාජාගේ උස අඩි අටක් පමණ වූ බව කියැවේ. ටිකිරි බණ්ඩා රත්වත්තේ මැතිතුමා දිය වඩන නිළමේ තනතුර දරණ සමයේ සිදු වූ මේ අසිරිමත් පූජාව රැස්ව සිටි සැදැහැවතුනගේ දෙනෙතට කඳුළු නංවන දසුනක් වූයේ දියවඩන නිළමේතුමාගේ දෑතෙහි රාජාගේ සොඬ තබා කෙණ්ඩියෙන් පැන්වත් කරද්දී කුඤ්චනාද කළ නිසාවෙනි.

රාජා හස්තියා එතැන් පටන් මහනුවර ශ්‍රී දළදා මාළිගයේ ඇසළ පෙරහරේ ගමන් කර තිබේ. නමුදු විසිවන සියවසේ මැද භාගයේ සිට මියයන තෙක් පෙරහර කරඬුව සහිත රන් සිවිගෙය පෙරහරෙහි වැඩම කරවීම රාජා සතු ප්‍රධාන කාර්යය විය. දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරවිමේ උතුම් කටයුත්ත සඳහා යොදාගනු ලබන්නේ මංගල හස්ති රාජයෙකි. හස්තියෙකු මංගල හස්තිරාජයෙකු වීමට නම් මංගල ලකුණු හතක් පිහිටිය යුතු බව පිළිගැනේ.

එනම් හස්තියාගේ සිරුරේ හත් පොළක් පොළව මත ස්පර්ශ විය යුතු වේ. පාද සතර, සොඬය. වලිගය සහ ලිංගය එම ස්ථාන හතයි. රාජා හස්තියා සතුව ද එම ලක්ෂණ දක්නට ලැබී තිබේ. ඊට අමතර වශයෙන් මෙම හස්තිරාජයාගේ පිට සමතලව පිහිටීමද විශේෂතම ලක්ෂණයක් විය. අභිමානවත් ලෙස හිස එසවීමේ ගති ලක්ෂණය ද දකුණු දළය වම් දළයට වඩා මඳක් ඉහළින් පිහිටා තිබීම ද රාජා හස්තියා පෙරහර කරඬුව වැඩමකරවීමට සුදුසුකම් ලැබීමට වඩාත් හේතුභූත විය.

මංගල ලකුණුවලින් සමන්විත වීමට අමතර වශයෙන් රාජා හස්තියා තීක්ෂණ බුද්ධි මහිමයකින් යුත් සත්ත්වයෙකු වූ බැව් තතු දන්නෝ පවසති. ඊට උදාහරණ කිහිපයක් ගෙනහැර දැක්විය හැකිය. 1955 වසරේ ඇසළ පෙරහර සමයේ එක් දිනෙක පෙරහරේ කරඬුව වැඩම කරවාගෙන ගමන් කළ රාජා මහනුවර රැජිණ හෝටලය අසල දී හිටිවනම නතර වී තිබේ. රාජා පෙරහරේ ඉදිරියට කැඳවාගෙන යාමට ගත් සියලු තැත ව්‍යවර්ථ විය.

පෙරහර ද නැවතිණ. එවකට දියවඩන නිළමේ තනතුර හෙබ වූ සී.බි.නුගවෙල මැතිතුමා ඇතු ඉදිරියට පැමිණ කතා කළ ද රාජා ගොරවා නිහඬ විය. එතුමන්ගේ උපදෙස් මත විපරම් කර බලන විට රන්සිවිගෙය බැඳ තිබූ බඳ පටියක් කැඩී ඇති අයුරු දක්නට ලැබිණ. එසේ තිබිය දී ඉදිරියට ගමන් කළේ නම් වන්නට තිබුණු විනාශය රාජා වටහා ගත්තා වැනි ය.

රන්දෝලි පෙරහර වීදි සංචාරය කරද්දී ශ්‍රී දළදා කරඩුව වැඩම කරවාගෙන පෙරහරෙහි ඉදිරියට රාජාට ගමන් කිරීම පිණිස සුදු පාවාඩ එලන අතර, එක් පාවාඩයක කෙළවරට රාජා පැමිණි පසු අනෙක් පාවාඩය එලන තෙක් ඉදිරියට නොයන බව බොහෝ දෙනා දැක තිබෙනු නිසැක ය. එපමණක් නොව පාවාඩයක කෙළවරට පැමිණ ඉදිරි පාවාඩය එලීමේදී ඈතට ඇදීයාම වළකාලනු පිණිස එයට තම සොඬ තබා තද කරමින් පාවාඩ එලන පිරිසට හැකි පමණින් තම සහාය පළ කිරීම තවත් දසුනකි.

වාර්ෂික ඇසළ මහ පෙරහර අවසන් දින දවල් පෙරහර ගෙවැදුණු පසු රන්සිව් ගෙය තම පිටමතින් ඉවත් කරද්දී රාජා තම දෙනෙතින් කඳුළු වගුරන අයුරු අපි කුඩා කල දැක ඇත්තෙමු. කාලයාගේ ඇවෑමෙන් අසූව දශකයේ අගභාගයේදී පමණ වයෝවෘද්ධභාවය නිසාම ක්‍රම ක්‍රමයෙන් දුර්වල ලක්ෂණ පෙන්නුම් කළ රාජාට 1987 ජනවාරි මස පළමුවන දින සිදු වූ රිය අනතුර නිසා පිටුපස පාද පණ නැති වෙන්නට පටන් ගැනීමත් සමග තත්ත්වය එන්න එන්නම වර්ධනය විය. මේ නිසා රාජා හස්තියා කෙරෙහි එවකට පැවති රජයේ අවධානය යොමු වූ අතර මේ කාලයේම නීතිමය මට්ටමින් ‘ජාතික වස්තුවක්’ ලෙස රජය මගින් ප්‍රකාශයට පත් කෙරිණ. බෙලහීන තත්ත්වයෙන් මුදවා ගන්නට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා රජයේ පූර්ණ අනුග්‍රහය ලැබිණ. රාජා ඔත්පල වූ අවස්ථාවේ සිට අවසන් මොහොත දක්වා හැකි උපරිම ප්‍රතිකාර, සාත්තු සප්පායම් ලබා දීමට එවකට හිටපු දියවඩන නිළමේ නෙරන්ජන් පි‍්‍රයදර්ශන ලොකු බණ්ඩා දුල්ලෑව විජයරත්න මහතා මහත් පරිශ්‍රමයක් දැරීය.

ඝන වනාන්තරයේ ඇත් රැළක ජන්ම ලාභය ලැබූව ද මිනිස් ඇසුරේ කල් ගෙවමින් කිසිම දිනක මිනිසකුට කළ නොහැකි බුද්ධ පූජාවක යෙදීමට වාසනා මහිමය ලද රාජා හස්තියා 1988 ජූලි මස 16 වන දින පෙරවරු 10.16 ට දියවඩන නිළමේ තුමාගේ නිල නිවසේ දී අභාවයට පත්විය. ගරුතර මහා සංඝයා වහන්සේ ආගමික වතාවත් ඉටුකර ලීමෙන් පසු නවීන තාක්ෂණික විද්‍යාත්මක ක්‍රම අනුගමනය කොට ඇත් සිරුරේ කල් පවතින සියලු කොටස් ක්‍රමවත් ලෙස වෙන්කොට දේහය ගෞරවාන්විතව මිහිදන් කොට ස්මාරකයක් ද බඳවන ලදි. අභාවයෙන් වසරක් ගෙවුණු තැන රජයේ සහ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය මත ඇතා ජීවමාන ස්වරූපයෙන් ප්‍රතිනිර්මාණය කර රාජා ජීවත්ව සිටි කාලයේ පරිහරණය කරන ලද ඇත් සැට්ට, පළඳනා, මෙවලම්.

උපකරණ තැන්පත් කොට, ජීවිතයේ විවිධ අවස්ථා දැක්වෙන ඡායාරූප ද සහිත කෞතුකාගාරයක් ශ්‍රී දළඳා මාළිගාවත්, පැරැණි රජ මාළිගාවත් අතර ගොඩනැගිල්ලක සකසා ඒ පින්බර හස්තිරාජයාගේ උතුම් බුද්ධ පූජාවට ජාතික උපහාරය පුදා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලදි. මියගිය පසු මේ අයුරින් ප්‍රතිනිර්මාණය කොට කෞතුකාගාරයක ප්‍රදර්ශනය කරනු ලබන ලොව දෙවැනි හස්තිරාජයා වීමේ දුලබ වාසනාව මියගිය රාජා හස්තියාට ලැබිණ. ඒ අතරින් පළමුවැන්නා වනුයේ කෙන්යාවේ අහමඩ් නමැති හස්තියා ය. රාජා හස්තියා ප්‍රතිනිර්මාණය කොට කෞතුකාගාරයේ තැන්පත් කොට එය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලද්දේ 1989 වසරේ දෙසැම්බර් මස 12 වන දින ය.

එදින ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය නිවේදන අංක 182 යටතේ ශත හැත්තෑ පහක වටිනාකමින් යුත් “ ශ්‍රී දළදා මාළිගාවේ රාජා හස්තියා” යන මැයෙන් සමරු මුද්දරයක් ද නිකුත් කරන ලදි.

ලොව ප්‍රකට ආගමික මෙන්ම සංස්කෘතික මංගල්‍යයක් වන මහනුවර ඇසළ පෙරහරේ ශ්‍රී දළදා කරඬුව අඩසිය වසක තරම් කාලයක් වැඩමකොට, ලොව පුරා බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට ලක් වූ මේ පින්බර රාජා හස්තියා මිය ගොස් පුරා වසර විස්සක් ගෙවී ගියද අදටත් ඒ අඩුව අඩුවක් මැයි ඇත් කුලයක උපන්නද, මිනිස් සමාජයේ ඇතැම් මිනිසුනටත් වඩා උත්තරීතර ගුණාංගයන්ගෙන් යුත් රාජා හස්තිරාජයා උතුම් බුද්ධ පූජාවක යෙදීමෙන් ජනිත කරගත් පුණ්‍ය මහිමයෙන් නිවන් සුව අත්වේවා! යි පතමින් එකී හස්තියාට කෘතෝපහාරයක් වශයෙන් මේ සමරු සටහන තබමි.

Source Link : Wishma Lokaya

ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් සිදු වූ බිහිසුණුම ගුවන් අනතුර

1974 දෙසැම්බර් මස 04 වැනිදා ඉන්දුනිසීයාවේ ශ්‍රී ලංකාව හරහා යමින් තිබූ මාටින් එයාර් නැමැති ගුවන් යානාව මස්‌ කෙළිය ආසන්නයේ සප්ත කන්‍යා කඳුවැටියේ ගැටී විනාශ විය. මෙම යානාවේ මක්‌කම බලා යමින් සිටි මගීන් 182 ක්‌ සහ කාර්ය මණ්‌ඩලයේ 9 දෙනෙකුද සිටි බව හෙළි විය. එකල ජංගම දුරකථන හෝ රූපවාහිනී නාලිකා හෝ එෆ් එම් නාලිකා තිබුණේ නැත. කොටින්ම කිව හොත් මස්‌කෙළියේ සිට කොළඹට ඇමතීමට නම් දුරකථන ක්‍රියාකරුවකුගේ සහය ලබාගත යුතුව තිබුණි.

නෝටන් බීඡ් තැපැල් හලේ සිට කොළඹට මේ සිද්ධිය වාර්තා කිරීමට සෑහෙන වෙලාවක්‌ ගත කිරීමට ද සිදු විය. මේ යානාව කාර්මික දෝෂයකින් කඩා වැටුණු බවට වාර්තා වූවත් ඇත්ත වශයෙන්ම සිදු වූයේ කුමක්‌ද? යානාවේ නියමුවා පලපුරුදු ඕලන්ද ජාතිකයෙකු වන හෙන්රික්‌ ලැම්මේයි. මෙම යානාව ශ්‍රී ලංකාවේ අහස්‌ තලයට පිවිසීමෙන් පසු කටුනායක ගුවන් පාලක මැදිරිය විසින් එය ගමන් කළ යුතු මාර්ගයද දක්‌වා ඇත.

දැන් මෙන් නොව එකල නිසි රේඩාර් පද්ධතියක්‌ ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් පාලක මධ්‍යස්‌ථානයට නොතිබුණි. දැන් නම් පිඳුරුතලාගල කන්දේ අධිතාක්‍ෂණික තොම්සන් රේඩාර් පද්ධතියක්‌ තිබේ. මෙහිදී වාර්තා වූයේ යානාවේ නියමුවා ලක්‍ෂපාන විදුලිබල මධ්‍යස්‌ථානයේ ආලෝක පහන් කටුනායක ගුවන්තොටුපලේ ධාවන පථයේ පහන් යෑයි සිතමින් යානාව පහලට ගෙන ඒමේදී එය සප්තකන්‍යා කඳු මුදුනේ ගැටී ඇති බවයි.

එහෙත් නිල නොවන ආරංචිමාර්ග කියන්නේ යානාව ගමන් කළ මාර්ගයේදී ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් පාලක මැදිරිය එයට පහළ බැසිය යුතු අඩි ප්‍රමාණය දක්‌වා තිබූ බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධ නිසි ලෙස පරීක්‍ෂණ නොපැවැත්වූ බවට වාර්තා වේ. මාටින් එයාර් ගුවන් යානාව සප්තකන්‍යා කඳු වැටියේ ගැටුනේ රාත්‍රීයේදීය. මේ නිසා එකල ශ්‍රී ලංකා යුධ හමුදාවට කඳු නැගීමේ කණ්‌ඩායමක්‌ නොතිබීම හා අවශ්‍ය උපාංග නොතිබීමෙන් ජීවිතාරක්‍ෂක කටයුතු ආරම්භ වුයේ පසුවදායි. මෙම යානාව ගැටුනු ස්‌ථානයට යාම පවා දුෂ්කර විය. එහෙත් පසුව වාර්තා වූයේ හුළු අතු පත්තුකරගත් පිරිස්‌ කැලෑ මාර්ගයෙන් එම යානාවේ සුන් බුන් වැටී තිබූ ස්‌ථානයට පැමිණි බවයි.

මාටින් එයාර් යානාවේ මගීන්ගේ මළ සිරුරු රැසක්‌ සප්ත කන්‍යා දෙබොක්‌කාවට වැටී තිබුණි. මෙය බැලීමට ගිය පුද්ගලයෙක්‌ද පය ලිස්‌සා එම දෙබොක්‌කාවට වැටී මරුමුවට පත් විය. සොයා ගත් සිරුරු රැසක්‌ සප්ත කන්‍යා කඳු වැටිය සමීපයේදී ඉස්‌ලාමීය ආගමික චාරිත්‍ර මත මිහිදන් කරනු ලැබීය. මෙහිදී එක්‌ ගුවන් සේවිකාවගේ මළ සිරුරක්‌ පමණක්‌ සොයා ගැනීමට හැකි වූ අතර එය ඕලන්දය වෙත ගෙන යනු ලැබීය. මෙයට වසර 38 පෙර සිදු වූ මෙම ගුවන් අනතුර සම්බන්ධව නිසි තොරතුරු මාධ්‍යවල පළ වූයේ දවස්‌ කීපයකට පසුවය. ෆැක්ස් පණිවිඩ හෝ වෙනත් පහසුකම් නොතිබීම නිසා මෙම යානාව විපතට පත්වීම ගැන වාර්තා කිරීමට ගිය මාධ්‍ය වේදීන් සුළු කණ්‌ඩායමකට විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදු විය.

මාටින්එයාර් යානාව විපතට පත් වීම සම්බන්ධව තොරතුරු වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට පැමිsණි බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියෙක්‌ කුලියට කුඩා ගුවන් යානාවක්‌ ලබා ගෙන එම ගුවන්යානාවෙන් මස්‌කෙළිය ප්‍රදේශයට යාමට දැරූ උත්සාහයද එකළ රජය විසින් ව්‍යාර්ථ කරනු ලැබීය. මේ යානාව විපතට පත් වීම සම්බන්දයෙන් පරීක්‍ෂණයක්‌ පැවැත් වූ අතර එහිදී කියෑවුණේ නියමුවාගේ දෝෂයකින් යානාව පහත් කිරීමෙන් සප්තකන්‍යා කඳු මුදුනේ ගැටුණු බවයි. සප්ත කන්‍යා කඳු මුදුන අඩි 4355 වූවත් යානාව අඩි 2000 ක්‌ දක්‌වා පහතට පැමිණ තිබූ බව වාර්තා වේ. මැක්‌ඩොනල්ඩ් ඩග්ලස්‌ ඩී. සී. 8 වර්ගයේ මෙකී යානාව මස්‌කෙළිය ප්‍රදේශයට පැමිණ ඇත්තේ අලුයම 10.15 යෑයි වාර්තා විය.

ඉන්දුනිසියාවේ සුරබයා ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට ශ්‍රී ලංකාව ඔස්‌සේ මක්‌කම බලා යමින් තිබූ මේ යානාවේ කිසිදු කාර්මික දෝෂයක්‌ නොතිබූ බව වාර්තා විය. එසේ නම් සිදු වී ඇත්තේ යානාව කන්දේ ගැටී විනාශ වූ බවයි. මෙයට වගකිව යුත්තේ කොළඹ ගුවන් ගමන් පාලක මැදිරියද? එම මැදිරියෙන් ලැබුණු උපදෙස්‌ ඕලන්ද නියමුවා විසින් වැරදියට තේරුම්ගත්තේද යන්න ගැන මෙතෙක්‌ හෙළි වී නැත.

මාටින්එයාර් සමාගමෙන් හා මැක්‌ඩොනල්ඩ් ඩග්ලස්‌ සමාගමෙන්ද කණ්‌ඩායමක්‌ පැමිණ යානාව අනතුරට පත් වූයේ කෙසේ දැයි පරීක්‍ෂණ පවත්වා ඇත. දින කීපයකට පසු වාර්තා වූයේ මස්‌කෙළිය ප්‍රදේශයේ කැලෑ පාරවල් ගැන දන්නා සමහරු රාත්‍රීයේම යානාවේ සුන්බුන්ව තිබූ ස්‌ථානයට පැමිණ බඩු බාහිර ආදිය සුද්ද කළ බවයි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ භටයන් සප්තකන්‍යා කඳු මුදුණ සමීපයට ලක්‌ වී ඇත්තේ පසුදා දහවල් ය. ඒ වන විට ඇතැම් පිරිස්‌ එම ස්‌ථානයට පැමිණ ආපසු පිටව ගොස්‌ තිබූ බවට සලකුණු සටන් වී තිබේ. කෙසේ වෙතත් මේ යානාව විපතට පත් වීමට මුල් වූ හේතූන් අද වන තුරු අනාවරණය වී නැත. මාටින් එයාර් සමාගම පැවසූවේ ගුවන් නියමු ගුවන් නියමු ලැම්මේ කීප විටක්‌ම ශ්‍රී ලංකාවට පැමිණ ඇති දක්‍ෂ නියමුවකු බවත් ඔහුට ලක්‍ෂපාන විදුලි බලාගාරය සහ කටුනායක ගුවන්තොටුපල හඳුනාගැනීමේ හැකියාවක්‌ තිබූ බවයි.

මේ නිසා මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් දැඩි සැකයක්‌ මතු විය. මෙම අනතුරින් මිය ගිය මගීන් සම්බන්ධයෙන් සප්තකන්‍යා කඳුවැටියේ ස්‌මාරකයක්‌ද ගොඩනගා තිබේ. යානාවේ රෝදයක්‌ නෝට්‌න් බ්‍රිඡ්හි තැපැල් කන්තෝරුව සමීපයෙහි තිබියදී සොයා ගනු ලැබීය. මේ රෝදය දැන් නොට්‌න් බ්‍රිඡ්හි ඉන්දන පිරවුම් හලක්‌ සමීපයෙහි ස්‌ථාන ගත කර තිබේ.

අඩි 35000 ක්‌ උඩින් ගමන් කළ මාටින්එයාර් යානාවට අඩි 2000 දක්‌වා පහත බැසීමට උපදෙස්‌ දුන්නේ කවුද යෑයි මෙතෙක්‌ වාර්තා වී නැත. යානාවේ නියමු හෙන්රික්‌ ලැම්මේ කටුනායකට කීපවරක්‌ම පැමිණි නියමුවෙක්‌ නම් ඔහු සප්තකන්‍යා කඳු වැටිය අසලදී යානාව පහත් කළේ මන්ද යයි තේරුම්ගත නොහැක. පියාසර අංක 138 යටතේ ඉන්දුනිසියාවේ සිට ශ්‍රී ලංකාව ඔස්‌සේ ගමන් කරමින් තිබූ මෙම යානාව සප්තකන්‍යා කඳුවැටියේ ගැටීම විශාල අභිරහසකි.

එය කටුනායක ගුවන් තොටුපලේ නතර කර එතැන් සිට සවුදි ආරාබියාවේ ඡේඩා ගුවන්තොටුපල බලා පියාසර කිරීමට නියමිතව තිබුණි. එහෙත් අනපේක්‍ෂිත අන්දමින් යානාව සප්තකන්‍යා කඳු මුදුනේ ගැටුණි. මාස කීපයට පසු ඕලන්ද බලධාරීන් පැවසූවේ යානාව අවශ්‍ය ප්‍රමානයටත් වඩා පහතට බැස්‌සීමෙන් කඳුවැටියේ ගැටී ඇති බවයි. වසර 43කට පෙර සිදු වූ මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් විවිධ කට කතාද පැතිර ගියේය. එකළ අධිතාක්‍ෂණික ගුවන් පාලන මැදිරියක්‌ ශ්‍රී ලංකාවට තිබුණේ නැත. කෙසේ වෙතත් මේ ගුවන් අනතුරට සම්බන්ධ තොරතුරු රැසක්‌ වසන් විය. ශ්‍රී ලංකාවට එල්ල වූ චෝදනාවෙන්ද ගැලවුණි.

කොළඹට පියාසර සැතපුම් 130 කට ඈතදී මේ යානාව පැමිණෙන අවස්‌ථාවේදී එකී විපත සිදු විය. යානාව විපතට පත්වීමෙන් පසු මස්‌කෙළිය ප්‍රදේශවාසීන් පැවසූවේ හෙන පුපුරන්නාක්‌ වැනි ශබ්දයක්‌ කඳු වැටිය ප්‍රදේශයෙන් සවනය වූ බවත් විශාල ගිනිජාලාවක්‌ දැක ගත හැකි වූ බවත්ය. මේ යානාවේ සිටි මගීන්ගේ සිරුරු රැසක්‌ සප්තකන්‍යා දෙබොක්‌කාවේ වැටී තිබූ අතර ඒවා ගොඩගැනීමේ කිසිදු හැකියාවක්‌ එකළ නොතිබුණි.

එකල මේ අනතුර සජීවීව දුටු පුද්ගලයෙකු තම අත්දැකීම විස්තර කළහ. මෙම අනතුර සියසින් දුටු ආර්.එම්.රණවීර මහතා ගෝණපොල මොහොට්ටිගොඩ නමැති ගමේ පදිංචිකරුවෙකි. එකල 16 හැවිරිදි කොලු ගැටයෙකු වූ ඔහු හපුගස්තැන්න වතුයායේ සේවය කර ඇත. ඔහු සතුව මෙම යානයේ සුන්බුන් අතරින් අහුලාගත් එන්ජිමේ මෙවලමක් ද සුරක්ෂිතව ඔහු සතුව පවතී. තමා ගැන දැනගත් මියගිය අයගේ ඥාතීන් කීපදෙනෙකු ඒ දිනවල ලිපි එවූ බව ද ඔහු සඳහන් කරයි. අවශ්‍ය නම් තමන් සතු විස්තර මියගිය අයගේ ඥාති මිත්‍රයින්ට හෝ ඒ පිලිබඳ උනන්දුවක් දක්වන ආයතනයකට හෝ ලබාදීමට කැමති බව ඔහු කියයි.

මාධ්‍යයට අදහස් දැක්වූ ඔහු මෙසේ කීය. මම ඒ දවස්වල හපුගස්තැන්න වතුයායේ බේකරියක වැඩ කළා. අනතුර සිදු වූ සප්ත කන්‍යා කඳුවැටිය එතනට හොඳට පේනවා. ඒ වෙලාව හරියට රාත්‍රී 10.10යි. මට හොඳට මතකයි. එදා මම රෑ වැඩ. මම එළියට ආවේ පොඩි විවේකයක් ගන්න. මට අහස් යාත්‍රාවක් එන ශබ්දය ඇසුණා. නමුත් මට ඇහුණේ අහස් යානයේ ශබ්දය විතරයි. ඊට පස්සේ විනාඩියක් විතර ගියාට පස්සේ අහස් යාත්‍රාව පෙනෙන්න පටන් ගත්තා. ඒකෙ රතුපාට ලොකු ලයිට් එකක් තිබුණා එය නිවි නිවී පත්තුවෙමින් තිබුණා.

ඒ අතරම එම යානාවෙන් නො නවත්වාම බෙල් එකක් මහ හයියෙන් නාද වුණා. ප්ලේන් එක ඒ වෙලාවෙ ගමන් ගත්තේ උස පොල්ගහක විතර උඩින් ඒක මට බස් එකක ප්‍රමාණයෙන් තමයි පෙණුනේ. එච්චර පාතින් ප්ලේන් එක ගිය එක ගැන මට පොඩි සැකයකුත් ඇති වුණා. මෙහෙම ගිය අහස් යාත්‍රාවේ එක තටුවක් මම හිටිය තැනට හොඳට පේන සප්ත කන්‍යා කඳුවැටියෙ එක කන්දක ගෑවීගෙන ගියා. මට ඒ වෙලාවේ මගේ හිතට බලවත් කම්පනයක් ඇති වුණා. ඊට පස්සේ අහස් යානය ඊට උසින් පිහිටි කන්දෙ වැදුණා. ඒ එක්කම අහස් යානයම ගිනි ජාලාවක් බවට පත් වුණා.

ඒ එක්කම අහස් යානයේ කෑලි පට පට ගාලා ගිනි අරගෙන පුපුරා බිමට වැටෙන ශබ්දය ඇසුණා. ඒ එක්කම මහා ශබ්දයක් එක්ක ප්ලේන් එක පුපුරනවා ඇහුණා. ඒ දවස්වල ඒ ගමේ වැඩිය ගෙවල් තිබුණෙ නැහැ. රෑ නවය වෙනකොට හැම ගෙදරකම නින්දට යනවා. දැන් මිනිස් පුලුටකට ඉන්නේ මම විතරයි. මේ සිද්ධිය තනිවම මහ රෑ දැක්ක හින්දා මට මහා බයකුත් අර අහස් යානයේ හිටි මිනිස්සුන්ගේ ජීවිත ගැන මහා ශෝකයකුත් ඇති වුණා.

අහස් යානයේ පිපිරීමේ ශබ්දයත් එක්කම ගමේ මිනිස්සු ‍දොරවල් ඇරගෙන දුවගෙන ආවා බලන්න. නමුත් කිසිම කෙනෙක් දන්නෙ නැහැ වුණේ මොකද කියලා. කාටත් පේන්නේ කන්ද මුදුනෙ මහා ගිනි ජාලයක් ඇවිලෙනවා විතරයි. පස්සේ මම සියලුදෙනාටම සිද්ධිය විස්තර කරල කිව්වා. නමුත් අපි කිසි කෙනෙකුට කන්දට යන්න විදියක් නැහැ කන්දට පාරකුත් නැහැ. ඒක ඝන කැළෑවෙන් වැහිල තියෙන්නේ.

පහුවදා ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයක් ඇවිත් අනතුර වෙච්ච තැන හොයාගත්තා. ඊට පස්සෙ මිනිස්සු වැල නො කැඩි අනතුර වෙච්ච තැන බලන්න කන්දට නඟින්න පටන් ගත්තා. මමත් ගියා. ඒත් කලින් කන්දට නැග්ග සමහරු කන්ද නැගගෙන එන මිනිස්සුන්ට උඩ ඉඳලා ගල් පෙරලන්න පටන් ගත්තා. එහෙම කළේ අනතුරින් විපතට පත් වෙච්ච මිනිසුන්ගේ බඩු මුට්ටු හොරකම් කරන්න බලාගෙන හිටිය අය. පාරක් නැති නිසා මිනිස්සු කන්දට නැග්ගෙ ගල් උඩින් පැන පැන වැල්වල එහෙම එල්ලිලා.

අනතුර වෙච්ච තැන පිච්චිච්ච මළසිරුරුයි ගුවන් යානයේ සුන්බුන් ආදියත් මගීන්ගේ බඩු මුට්ටුත් විසිරිලා තිබුණා. සමහර මල සිරුරු බාගෙට පිච්චිලා. මට මළසිරුරු පනහක් හැටක් පමණ ගණන් කරන්න පුළුවන් වුණා. ගුවන් හමුදාවෙන් පැමිණි අය මගීන්ගේ බඩු බාහිරාදිය කන්දක් වගේ ගොඩ ගහලා තිබුණා. ගුවන්යානයේ සුන්බුන් අහුලා ගත් අය ඒ කෑලි එක එක අයට විකුණන්න පටන් ගත්තා. මටත් ගුවන්යානයේ එන්ජින් එකේ කෑල්ලක් හමු වුණා. ඒක එන්ජින් එකේ ගියර් ලීවරයක් ලු. අදටත් මම එය ප්‍රවේශම් සහිතව විශේෂ ආවරණයක් තුළ දාලා තියාගෙන ඉන්නවා.

අනතුර සිදුවීමට විනාඩි පහකට වඩා ගියේ නැහැ. මිනිස්සු අවදිවෙලා ගෙවල්වල ‍ෙදාරවල් ඇරගෙන එනකොට අනතුර වෙලා ඉවරයි. ඉතින් මේ අනතුර මුලින්ම දැකල තියෙන්නේ මමයි. මම දැනට වෘත්තියෙන් ගොඩනැඟිලි කාර්මිකයෙක්. එදා මේ අහස්යානය ගමන් කළ උස එම උස අනුව කන්දේ හැපුණ අයුරු ආදිය මම සිතියම් ගත කරලා තියෙනවා. අනතුර සිහිවීම පිණිස එම ගුවන් යානයේ එන්ජිමට අයිති මෙවලම මම වීදුරු ආවරණයක තැන්පත් කරලා තියෙනවා ඕනෑම කෙනෙකුට බලන්න පුළුවන් විදියට.

ආරංචි මාර්ග දක්‌වන්නේ ඉන්දුනිසියාවේ ඉස්‌ලාමීය ව්‍යාපාරිකයන්ද ධනවතුන්ද මේ යානාවේ සිටි බවයි. මේ යානාවේ සහයක නියමුවා වූයේ රොබට්‌ නැමැත්තාය මාර්ග උපදේශකයා ලෙස ජොහැනාස්‌ විජිනැන්ඩස්‌ ක්‍රියා කර ඇත. මොවුන්ද කීප විටක්‌ම කටුනායක ගුවන්තොටුපලට පැමිණි බව මාටින්එයාර් ගුවන් සේවාව පසුව කියා සිටියේය. එහෙත් නොසිතූ අන්දමින් යානාව සප්තකන්‍යා කඳුමුදුනේ ගැටුණි. වරද කරු නියමුවාද නැත්නම් කටුනායක පාලක මැදිරියද?

ලිපි මුලාශ්‍ර – දිවයින පුවත්පත / Sunday Apple

Source Link : Wishma Lokaya

කොබ්බෑකඩුව ඝාතනය කළේ කොටි සංවිධානයද ? දේශපාලඥයින්ද ?

එක්දහස් නමසිය අනූවේ මුල්කාලය වන විට මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සිටියේ ජනප්‍රියත්වයේ හිණිපෙත්තේය.

උතුරු ප්‍රදේශය භාර හමුදා ආඥාපතිවරයා ලෙස ඔහු කෙතරම් ප්‍රසිද්ධියට පත්වී සිටියේ දැයි කිවහොත් රට්ටු කොබ්බෑකඩුව නම ඇදහූවේ දේවත්වයෙනි. සමහරු කල්පනා කළේ රට බේරා ගැනීමට පැමිණි දියසේන කුමරා ඔහු කියාය.

මේ ජනප්‍රියත්වය නිසා එකල රටේ පැතිර ගිය ආරංචියක් වූයේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මීළඟ ජනාධිපතිවරණයට තරග කරනු ඇති බවය. මේ නිසා පාලකයන් අතරේ කොබ්බෑකඩුව භීතිකාවක් පැතිර ගියේය.

එසේ ඕපදූප කතාවක් පැතිරීමට තරම් සාධාරණ හේතුවක් රට්ටුන්ට තිබුණි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔහුගේ තිබූ නෑකමය.

එක්දහස් නවසිය අසූතුනේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වූයේ ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ මහප්පා වූ හෙක්ටර් කොබ්බෑකඩුවය.

ඩෙන්සිල් කොබ්බෑකඩුව

කොබ්බෑකඩුව පරපුර පැවැත එන්නේ මහනුවර රාජධානියෙනි. ඒ පරපුරේ ඇත්තෝ ගරු ගාම්භීර මල්වතු පාර්ශ්වයේ මහානායක පදවියට පත් වූවා පමණක් නොව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරයද දැරූහ. මහනුවර ඉපැරණි ප්‍රභූ පරපුරකින් පැවැත එන පිළිමතලාවේ දෙල්දෙණියේ වළව්වේ ලොකු බණ්ඩාර කොබ්බෑකඩුව හා මහනුවර ගුන්නෑපාන අමුණුගම වලව්වේ අයෝනා රත්වත්තේ , ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑකඩුවගේ දෙමාපියෝය.

ඔහු ඉපදුනේ එක්දහස් නමසිය හතළිහේ ජූලි විසිහත් වැනිදාය. ඩෙන්සිල් කොබ්බෑකඩුව උපත ලබන විට තිඹිරිගේ භාරව හුන් ප්‍රධාන වෛද්‍යවරයා වූයේ ආර්.එල්. ස්පිට්ල්ය. වෙදකමට වඩා ඔහු ප්‍රසිද්ධියට පත්ව හුන්නේ ‍පොත් ලිවීමටය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඡන්දය ඉල්ලූ හෙක්ටර් කොබ්බෑකඩුවගේ නෑකමට අමතරව ඩෙන්සිල් කොබ්බෑකඩුව ශ්‍රීලනිප නායිකා සිරිමාවෝ බණ්ඩාරනායකගේ විශ්වාසය දිනාගත් නිලධාරියකු විය. එක්දහස් නමසිය හැටහයේ ඩඩ්ලි සේනානායක ආණ්ඩු කාලයේ හමුදා කුමන්ත්‍රණයකට ඈඳා ගනිමින් අනිවාර්ය නිවාඩු යවා තිබූ ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු නිලධාරීන් යළි සේවයට කැඳවූයේ හැත්තෑවේදී සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව බලයට පත් වීමෙන් ඉක්බිතිවය.

එක්දහස් නමසිය හැත්තෑ එකේ තරුණ කැරැල්ල උද්ගත වූ අවස්ථාවේ දී මැතිනිය විශ්වාසය තැබු නිලධාරින් අතරේ ඉහළින්ම හුන් චරිතයක් වූයේ එකල තරුණ මේජර්වරයකු වූ ඩෙන්සිල් කොබ්බෑකඩුවය. හැත්තෑ එකේ කැරැල්ලට හසු වූ තරුණ තරුණියන් දහස් ගණන් හමුදා ප්‍රහාරවලින් මිය ගියද කොබ්බෑකඩුව කල්පනා කළේ ඔවුන් බේරාගන්නා ක්‍රමයක් ගැනය.

කැරැල්ලට සැකපිට ජී.අයි.ඩී. ධර්මසේකර (වර්තමානයේ අනගාරික ධර්මසේකරතුමා) රහස් ‍පොලීසියේ අත්අඩංගුවට පත්වී මරණයට කැපකර තිබියදී ඔහුව බේරාගත්තේ ද ඩෙන්සිල් කොබ්බෑකඩුව ය.

හැත්තෑ ගණන්වල සිට මැතිනියගේ විශ්වාසය දිනාගෙන සිටීම නිසාදෝ මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගැන එක්සත් ජාතික පක්ෂය බැලුවේ වපර ඇසකින් බව රහසක් නොවීය. ඇතැම් දේශපාලනඥයන් හිතුවේ හමුදා කුමන්ත්‍රණයකින් ඔහු රටේ බලය අල්ලා ගනු ඇති බවය.

එනමුත් දැඩි විනය ගරුක නිලධාරියකු වූ ඔහුට එවැනි අදහසක් නොවීය. දේශපාලනයට එනවාදැයි බොහෝ දෙනා ඔහුගෙන් ඇසුවද ලැබුණු පිළිතුර වූයේ තමා හමුදා නිලධාරියකු මිසක් දේශපාලනඥයකු නොවන බවය.

කෙසේ නමුදු මහත්මා නිලධාරියකු ලෙස මහා කීර්තියක් හම්බු කරගෙන හුන් මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ ජනප්‍රියත්වය එන්න එන්නම වැඩිවෙමින් තිබුණේය. විශේෂයෙන් කොබ්බෑකඩුව, විමලරතන (බ්‍රිගේඩියර් විජය විමලරත්න) සුසංයෝගය එල්.ටී.ටී.ඊ.යට එරෙහිව එකපිට එක ජය ලබන විට ඔවුන්ගේ යසස තව තවත් පැතිරුණි.

සොල්දාදුවන් සමග යුධ පිටියේදී

මේ කාලයේ කොබ්බෑකඩුවගේ ජීවිතයට දෙපැත්තකින් තර්ජන තිබූ බව කාටවත් රහසක් නොවීය. එල්.ටී.ටී.ඊ. සංවිධානයට අමතරව ඇතැම් අදෘශ්‍යමාන බලවේග සිටියේ ඔහු ගැන විපරම් කරමිනි. මේ නිසා මේජර් ජෙනරාල් කොබ්බෑකඩුව විශ්වාස කළේ කොළඹ සිටිනවාට වඩා උතුරේ Kobbekaduwa1සෙබළුන් අතරේ සිටීම තම ජීවිතාරක්ෂාවට සුදුසු බවය. මක්නිසාදයත් යුද හමුදාවේ පමණක් නොව ත්‍රිවිධ හමුදාවේම සෙබළුන් ඔහුට අසීමිතව ආදරය කළ බැවිනි.

ඔහු සිය පහළ නිලවල සිටින අයට කතා කළේ මගේ ළමයින් යනුවෙනි. නිවාඩුවට කොළඹ රොස්මිඩ් නිවසට පැමිණි මොහොතේ පටන් ඔහුට නැවත යුද බිමට යාමට ඉස්පාසුවක් නොවීය. ඒ අවස්ථාවලදී ඔහු සිය බිරිය වන ලලීට කියන්නේ මගේ ළමයි බලන්න මට ඉක්මන්ට ආපසු යන්න ඕන යනුවෙනි.

කොබ්බෑකඩුව ආපසු උතුරට යන්නේ හිස් අතින් නොවේ. සිය බිරියගේ අතින් හැදූ කැවිලි පෙවිලි ගෝනි ගණනන්ද සමගිනි. ඒ ඩෙන්සිල් කොබ්බෑකඩුව උතුරේ ළමයින්ද (සෙබළුන්) තම ලෙයින් හැදූ ළමයින්ගේද සම මට්ටමේ තැබූ බැවිනි.

සොල්දාදුවන් සමග තිබූ මේ අසීමිත බැඳීම නිසා කොබ්බෑකඩුව විශ්වාස කළේ ඔවුන් අතරේ සිටීම සිය ජීවිතාරක්ෂාවට හොඳම ක්‍රමයක් බවය. මේ අතර මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව රහසිගත කටයුත්තකට අතගසා හුන්නේය. ඒ, එල්.ටී.ටී.ඊ. යේ පාලනයට නතුවී තිබෙන උතුර මුදා ගැනීම සඳහා නව මෙහෙයුම් සැලැස්මක් හැදීමටය. එය නම් කර තිබුණේ ෆයිනල් කවුන්ට් ඩවුන් යනුවෙනි.

මෙහෙයුම ඇරඹීමට නියමිතව තිබූ දිනයට දෙසතියකට පමණ ඉහත දී ඔහු ගෙදර ආවේය. ඒ අවස්ථාවේදී වූ ෙදෙවෝපගත සිද්ධියක් සෝමා ජයකොඩි ලියූ ඩෙන්සිල් කොබ්බෑකඩුව චරිතාපදානයේ සඳහන් වී ඇත්තේ මෙසේය.

කොබ්බෑකඩුව මැතිනිය අත පැළඳි රන් මුදු දෙකකි. එකක් මංගල දිනයේ දී කොබ්බෑකඩුව මහතා විසින් ඇයට පළඳවනු ලැබූවකි. අනෙක ඇය විසින් එතුමාට පැළඳවූවයි. එය හදවතක හැඩය ගත්තකි. ඒ හදවත මත ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑකඩුව නම්වල මුලකුරු වන ච්ඹ්ම් කොටා ඇත.

අකුරු ගෙවීගොස් ඇති නිසා යළි පැහැදිලි ලෙස එය කෙටීමට බිරියට අවශ්‍ය විය. ඒ අවශ්‍යතාව ස්වාමියාගේ සිත් ගත්තේ නැත. ගෙදරදොර වැඩ කරන සමහර අවස්ථාවල බිරිය ඇගේ මුදුව ගලවා පසෙක තබා වැඩ අවසන්කොට යළිත් පැළඳගැනීමද එතුමාට රුචි නොවූවකි.

අවුරුදු විසිඑකක් තිස්සේ මං මේ මුද්ද ගලවලා තියන්නෙ පරෙස්සමටනේ. වැඩ කරනකොට ගවෛනවා. ඔයාගේ මුද්ද ච්ඹ්ම් අකුරු ගෙවිලා ආයෙ කොටන්න ඕනෑ.
බිරිය කොතෙක් ඉල්ලා සිටියද කොබ්බෑකඩුව මහතා මුදුව ගලවා බිරිය අත තැබුවේ නැත.

මේ සංවාදය ඇතිවූයේ එක්දහස් නවසිය අනූදෙකේ ජූලි මස තිස්එක් වෙනිදා තරම්ය. ඉන් දින අටකට පසු කොබ්බෑකඩුව මහතා මියගිය අතර, එතුමා අතවූ මංගල මුදුව තරුණ නිලධාරියෙකු විසින් බිරියට ආපසු භාර දෙන ලදී. මුදුවේ ‍ලේ තැවරී තිබුණි.

ඩෙන්සිල් කොබ්බෑකඩුව අවසන් වරට ගෙදරින් පිටත් වූ දවසේ වරකා‍පොළ දක්වා ලලී කොබ්බෑකඩුවත් ගියාය. වරකා‍පොළදී හමුදා ජිප් රියට ඔහු නැග්ගේ සිය බිරියට මෙසේ කියමිනි. මේ සැරේ මං එන්න ටිකක් පරක්කු වෙයි. කල්පනාවෙන් ඉන්න එසේ සිය බිරියගෙන් සමුගෙන අනුරාධපුරයට පැමිණි ඩෙන්සිල් කොබ්බෑකඩුව මුණ ගැසීමට දෙතුන් දවසකට පසු තවත් පිරිසක් ආවෝය. ඒ කොබ්බෑකඩුව

ළඟින්ම ඇසුරු කළ බෙංගමුවේ නාලක හාමුදුරුවෝය. මහා අනතුරක පෙරනිමිති පහළ වී තිබූ නිසාදෝ උන්වහන්සේ එක හඩින් ඉල්ලා සිටියේ උතුරට ගියත් පලාලි කඳවුරෙන් අඩියක්වත් පිටතට නොතබන ලෙසය. එනමුත් ෆයිනල් කවුන්ට් ඩවුන් මෙහෙයුමේ සැලසුම් පරීක්ෂා කිරීමට කොබ්බෑකඩුවට එළියට බැසීමට සිද්ධ විය.

මේ අතර කොබ්බෑකඩුවගේ මහගෙදර වූ පිළිමතලාවේ දෙල්දෙණිය වලව්වේ මැද මිදු‍ලේ වහළ අගෝස්තු හත්වැනිදා මහ රෑ කඩාවැටුණේය. එය හරියට මහා නපුරක පෙර නිමිත්තක් පහළ වූවාක් මෙනි.

දිනය එක්දහස් නමසිය අනූදෙකේ අගෝස්තු අට වැනිදාය. එදින උදෑසන යාපනය කයිට්ස් කඳවුරේ හුන් හමුදා නිලධාරීහු විශේෂ පුද්ගලයකු එනතුරු බලා සිටියහ. ඔහු ෆයිනල් කවුන්ට් ඩවුන් මෙහෙයුමේ මහ මොළකරු වූ මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවය.

කරෙයිනගර් නාවික කඳවුරේ සිට කොබ්බෑකඩුව ප්‍රමුඛ අණදෙන නිලධාරීන් කයිට්ස් ජැටියට ආවේ බෝට්ටුවලිනි. මේජර් ජෙනරාල් කොබ්බෑකඩුවට අමතරව බ්‍රිගේඩියර් විජය විමලරත්න, උතුරු නාවික ආඥාපති කොමදෝරු මොහාන් ජයමහ ඇතුළු ‍‍‍ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීහු කීප දෙනෙක්ම එහි හුන්හ. ඔවුන් යාමට නියමිතව හුන්නේ අරාලි තුඩුවටය. ෆයිනල් කවුන්ට් ඩවුන් මෙහෙයුමේ සැලැස්ම ක්‍රියාත්මක කරන එක් බිමක් වූයේ අරාලිතුඩුවය.

එහි සිට නාවික හමුදා බෝට්ටු මගින් සෙබළුන් යාපනය නගරය අල්ලා ගැනීමට යාමට නියමිතව තිබුණි. ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු හමුදා නිලධාරීන් අරාලි තුඩුව බලා ගමන් ඇරඹුවේ ජිප් රථ දෙකක නැගීය. අතරමගදී සියලු දෙනා එක ජිප්රියක නැගිය යුතු බව තීරණය කළේ එල්.ටී.ටී.ඊ.යේ දර්ශන පථයෙන් ඈත්වීමේ උපක්‍රමයක් ලෙසය. එහෙත් මේ ගොඩවන්නේ මරුවා සැඟ වී සිටින රියකට බව කිසිවෙකුට නොසිතෙන්නට ඇත.

කොබ්බැකඩුව විරුවා සමග දිවි පිදු අනෙකුත් පිරිස.
සෙබළුන් දෙතුන් දෙනෙකු හැරෙන්නට අන් සියල්ලෝම එම ජිප් රියට ගොඩවූහ. මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, බ්‍රිගේඩියර් විජය විමලරත්න, කොමදෝරු මොහාන් ජයමහ, කර්නල් එච්.ආර්. ස්ටීවන් , කර්නල් යශෝධ පලිපාන, කර්නල් ජී.එච්. ආරියරත්න , මේජර් නලීන් අල්විස්, ලුතිනන් කමාන්ඩර් අසංග ලංකාතිලක, ලුතිනන් කමාන්ඩර්, චන්දිම විජයපුර, කෝප්‍රල් ජගත් වික්‍රමරත්න හා බ්‍රිගේඩියර් විජය විමලරත්නගේ සහයක සෙබළා වන සෙබළ උපාලි ද ඒ අතර වූහ. වාහනයේ ඉඩක් නොවූ බැවින් සෙබළ උපාලි හිටියේ රථයේ පිටුපස එල්ලීය.

කොබ්බෑකඩුව ඇතුළු නිලධාරීන් අරාලි තුඩුව බලා ගමන් අරඹන විට ඔවුන් සමග පැමිණි අනෙක් රථය අරාලි තුඩුව පෙනෙනතෙක් මානයේ සෙවණ ඇති බිමක නතර කෙරුණි. පැය භාගයක් පමණ ගත වුණි. නතර කළ තිබූ ජිප් රියේ සිටි අයට ඇසුණේ කොබ්බෑකඩුව ගිය ජිප්රිය නැවත පැමිණෙන ශබ්දයය. එබැවින් ඔවුහු තම ජිප් රියද පණනැංවූවේ ගමන් ඇරඹීමටය.

මේ අතර කොබ්බෑකඩුව ඇතුළු හමුදා නිලධාරීන් පැමිණ රිය වැලි පාරකින් පැමිණ තාර පාරට දැමීමට සූදානම් වූවා පමණි. මුළු ප්‍රදේශයම මහ හඩින් දෙදරමින් වාහනය පුපුරා ගියේය. ඒ දෙදරීම කොතරම්ද යත් එහි කම්පනය අදටත් රට්ටුන්ගේ හදවතවලට හොඳට දැනේ.

විනාඩි ගණනාවක් පුරා මුළු බිමම මහා ධූලි වලාවකින් වැසී ගියේය. නවතා තිබූ වාහනයේ හුන් හමුදා නිලධාරීහු පිපිරුම වූ බිමට දිව්වෝය. එහි මහා ආවාටයක් ඇදී තිබුණි. ඔවුන්ට මුලින්ම හමුවූයේ කොමදෝරු මොහාන් ජයමහය. ‍ලේ විලක් මැද වැටී හුන් ඔහුගේ පණ නළ ගැහෙමින් තිබුණි.

ඩෙන්සිල් කොබ්බෑකඩුව අඩි විස්සක් තිහක් පමණ දුරින් වැටීසිටියේ මරුවා සමග සටන් කරමිනි. බ්‍රිගේඩියර් විජය විමලරත්නගේ සිරුර තුනටිය ළගින් කොටස් දෙකකට වෙන්වන්නටම කැඩිගොස් තිබුණි. රථයේ පිටුපස එල්ලී ගිය සෙබළ උපාලිගේ දෙපා තිබුණේ සිරුරෙන් වෙන්වීය.

පණගැහෙමින් හුන් ඔහු කැඩී වෙන්වූ දෙකකුල්ද සොලවමින් කෑගසමින් හුන්නේය. (ඔහු මේ ප්‍රහාරයෙන් දිවි ගලවාගත් එකම පුද්ගලයාය) කොබ්බෑකඩුව, ජයමහ හා උපාලි හැර අන් සියලු දෙනාගේම සිරුරු තිබුණේ සත් අතකට කැඩීය. ඔවුහු සියල්ලෝම ඒ වන විටත් දිවි සටනින් පරාජයට පත්ව හුන්හ.

පිපිරුමෙන් විනාඩි කීපයකට පසු හෙලිකොප්ටරයක් අරාලි බිමට ගොඩබැස්සේය. එම හෙලිකොප්ටරය කලින් ලෑස්ති කර තිබුණේ මේජර් ජෙනරාල් කොබ්බෑකඩුව ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට යළිදු වරක් කඳවුරට යාමටය. හෙලිකොප්ටරයට මුලින්ම නංවා ගත්තේ කොබ්බෑකඩුව හා ජයමහ යන සෙන්පතිවරුන්ය.

ඔවුන් දෙදෙනා පලාලි රෝහලට ගෙන යාමට පියවර ගත්තද අතරමගදී මොහාන් ජයමහ දිවියට සමු දුන්නේය. පලාලි රෝහලට ඇතුළු කළ කොබ්බෑකඩුවට අවැසි මූලික ප්‍රතිකාර දුන් වෛද්‍යවරුන් ඔහු වහාම

කොළඹට යැවීමට තීරණය කළේ බරපතළ තත්ත්වයේ ඔහු පසු වූ බැවිනි. මේ අතර පලාලි කඳවුරේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ජයවර්ධනපුර මහ රෝහලට කතාකර හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර සියලු ක්‍ෂේත්‍රවල විශේෂඥ වෛද්‍යවරුන් කැඳවා ශල්‍යාගාරය වෙන්කර තබන්නැයි දැනුම් දුන්හ.

එසැණින් ජයවර්ධනපුර රෝහ‍ලේ බලධාරීහු ක්‍රියාත්මක වූහ. ඔවුන් කොබ්බෑකඩුවගේ දිවිය ගලවා ගැනීමට ඕනෑම කැපකිරීමක් කිරීමට සැදී පැහැදී හුන්හ. යම් හෙයකින් අතරමගදී හදිසි ප්‍රතිකාර අවශ්‍ය වුවහොත් ඒ සඳහා අනුරාධපුර මහ රෝහලද සූදානම් කෙරුණි.

සිහිසුන්ව හුන් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ දිවි ගලවා ගැනීමට ඔහුට වහාම විශේෂඥ ප්‍රතිකාර දිය යුතු මුත්, එය ප්‍රමාද වූයේ ඇයිදැයි යන්න අදටත් අබිරහසකි. ජයවර්ධනපුර මහ රෝහ‍ලේ සියලු කටයුතු සූදානම් කර තිබියදීත් ඔහු රැගෙන ගියේ කොළඹ ජාතික රෝහලටය.

පලාලි වලින් රත්මලානටත් , රත්මලානෙන් ජයවර්ධනපුර රෝහලටත් එතැනින් කොළඹ ගුවන් හමුදා මූලස්ථානයටත් ගොස් කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමට බොහෝ වේලාවක් ගත විණි. උදේ දහයට බෝම්බ පිපිරුමෙන් තුවාල ලැබූ ඔහු රෝහල් ගත කළේ පස්වරු දෙකට පමණය. ඒ වන විටත් කොබ්බෑකඩුව හුන්නේ දැඩි අසාධ්‍ය තත්ත්වයේය. ඔහුගේ ජීවිතය බේරාගැනීමට දොස්තරවරු නොගත් වෙහෙසක් නැත. එනමුත් ඒ සියල්ල පරාජය කරමින් පස්වරු දෙකහමාරට පමණ මරුවා ජය ගත්තේය.

ඒ මරණය වී අද දිනට විසිපස් වසරක් ගත වුණිද ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ මරණය අදටත් අබිරහසකි. ඔහුගේ ඝාතනයට සෘජුවම ඇඟිල්ල දිගු වූයේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලනයටය. රජය තමන්ට එල්ල වූ කළු පැල්ලම මකා ගැනීමට ඝාතනය ගැන පිරික්සීමට ඉස්මයිල් කොමිසම පත් කළේය.

ඒ අතරේ එංගලන්තයේ හුන් බෝම්බ විශේෂඥයකු වූ ජේ.ආර්. වයට් ද මේ ගැන පරීක්ෂා කළේය. ආණ්ඩුවේ වාර්තාවත් එම වාර්තාවත් පරස්පර විය. ඉනික්බිතිව බලයට පත් වූ චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක ජනාධිපතිනිය කොබ්බෑකඩුව ඝාතන කොමිසමක් පත් කළාය. එහිදී ද සත්‍යය හෙළි නොවීය.

සැබැවින්ම සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව ඝාතනය කළේ කොටි සංවිධානයද එසේ නැතිනම් ඔහු දේශපාලනයට පැමිණෙතැයි පැතිරී ගිය ආරංචියට බිය වූ දේශපාලනඥයන් පිරිසක්ද. මේ ප්‍රශ්නවලට උත්තර ද සදාතනිකව ‍පොළොව යට වැලලී තිබෙනු ඇත. මක්නිසාද යත් කොබ්බෑකඩුව ඝාතනයේ ඇඟිල්ල දිගු වූ සියල්ලෝම දැන් සිටින්නේ ‍පොළොව යට බැවිනි.

මිහිරි ෆොන්සේකා / මුලාශය – ලක්බිම

Source Link : Wishma Lokaya

කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ මන්තර බලයෙන් උසාවියේ නඩුකාරතුමාව වරුවක් ගල් කරලා තියපු හැටි

කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ කියන්නේ ලංකාවේ වැඩ ඉදපු යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් බොහෝ විස්කම් කරපු හාමුදුරුවන් වහන්සේ නමක්. විශ්ම ලෝකය කියවන ඔයගොල්ලෝ හැමෝම වගේ උන් වහන්සේ ගැන අහල ඇති. අද කියන්නේ යන්නේ උන්වහන්සේට අගෞරව වෙන විදිහට කතාකරපු නඩුකාරවරයෙකුට උන්වහන්සේ විසින් මන්තර බලයෙන් දීපු අපුරු දඩුවමක් ගැන. දඩුවම තමයි වරුවක් ගල් කරලා තියපු එක.

ඔන්න අවුරුදු සමයක උන්වහන්සේ මූලිකත්වය අරගෙන ගමේ අවුරුදු උත්සවයක් සංවිධානය කලා. ඔය අවුරුදු උත්සවේ කඹ අදිද්දි ඇති වෙච්ච පොඩි ගැටුමක් දරුණු තත්ට්වෙටම ගිහින් දෙතුන් දෙනෙක් පිහිපාරවල් කාල රෝහල් ගත කලා. ඔය අවුරුදු උත්සවේ සංවිධානය කලේ කොන්ඩදෙනියේ හමුදුරුවො නිසා උන්වහන්සේටත් නඩුවට සහභාගි වෙන්න සිද්ද වුනා. ඔන්න දැන් නඩු දවසෙ කොන්ඩදෙනියේ හාමුදුරුවොත් අසුන්ගෙන හිටිය. විනිසුරුතුමා එනකොට අපි හැමෝම නැගිටලා ආචාර කරනවා නේ. ඒක පූජ්‍ය පක්ෂයේ අයටත් පොදුයි. නමුත් කොන්ඩදෙනියේ හාමුදුරුවෝ නම් නෙවේ නැගිටල ආචාර කලේ.

මේක දැකපු තෝල්ක තුමා ඔබ වහන්සේ නැගිටලා ආචාර කරා නම් නේද හොඳ කියල ඉතාම ගෞරවයෙන් යුක්තව හාමුදුරුවන්ට කිව්වා.

මම ගරු කරන්නේ මට වඩා වැඩිමහල් භික්ෂුවකට විතරයි. මේ වගේ පඩියට වැඩකරන නඩුකාරයෙක්ට මම ගරු කරන්න අවශ්‍ය නෑ නේ

මේ කටවාචාල උන්නාන්සෙව ගෙනියන්න මෙතනින් එලියට නඩු කාරයා කෑගැහුවා.

හැමෝම තුෂ්නිම්භූත වෙලා හාමුදුරුවො දිහා බැලුවා. කොන්ඩදෙනියේ හාමුදුරුවො වචනයක් වත් කතා කලේ නෑ. අසුනින් නැගිට්ටා. තමන්ගේ කුඩේ කෙලවරින් හරියටම තුන් පාරක් ඇන්නා පොලවට. පිත්තල කොපුව වැදෙන හඩ උසාවිය පුරා දෝංකාර දුන්නා.

මීලගට මොකක් වෙයිද හාමුදුරුවන්ගෙ වැඩ ගැන දන්න හැම පුද්ගලයෙකුගෙම මුහුනේ රැඳී තිබ්බේ කුතුහලයක් හාමුදුරුවෝන්ගේ ඇස් වලින් පිටවුනේ රතුම රතු ලේ බින්දු උන්වහන්සේ ඒ බිඳු දෙක තුනක් අතට අරගෙන නඩුකාරතුමාගේ පැත්තට විසි කරලා උසාවි භූමියෙන් පිටව ගියා.

ඊට පස්සේ තමයි වැඩේ පටන් ගත්තේ. නඩුකාර උන්නාන්සේ නඩුව පටන් ගන්නකම් මිනිස්සු බලන් ඉන්නවා. ඒත් නඩුකාරතුමා කතා කරන්නේවත් නෑ. අඩුම ගානේ හෙලවෙන්නේ වත් නෑ. එතන හිටපු හැමෝටම වැඩේ තේරුනා. නඩුකාරතුමා හාමුදුරුවන්ට කතාකරපු විදිහ නිසා උන්වහන්සේ නඩුකාර තුමාව ගල් කරලා.

ගිහින් හාමුදුරුවන්ට වැඳලා සමාව ගන්න එතන හිටපු වැඩිහිටියෙක් මේ සිද්ධියෙන් බය වෙලා ඉඳපු තෝල්ක මහතාට කිව්වා.

පස්සේ තෝල්ක මහත්තයා තවත් පිරිසක් එක්ක ගියා කොන්ඩදෙනියේ හාමුදුරුවො වැඩ වාසය කල විහාරස්ථානයට. ගිහින් වැඳල සමාව ගත්තා.

දැන් ඔයා ආපහු යන්න. භික්ෂූන් වහන්සේ නමකට උන්නාන්සේ කියන්න ගිහියන්ට කැප නෑ. ඒක නිසා මං පොඩි දඩුවමක් දුන්නේ. ඔය ඇත්තො උසාවියට ගිහින් මේ වැලි ටික ඒ හරියේ පොලවට ඉහින්න. එතකොට එතකොට අපේ නඩුකාරතුමාට සනීප වේවි

පස්සේ ඒ විදිහට කරල නඩුකාරතුමාව යථා තත්වෙට පත්කරගන්න පුලුවන් උණාලු. ඔන්න ඕකයි කතාව. ඕගොල්ලො හිතන්නේ මොනවද? කමෙන්ට් එකක් දාල යන්න. ශෙයා කරන්නත් අමතක කරන එපා. හැබයි ශෙය නොකර නම් යන්න හිතන්නවත් එපා. මං එහෙම අයව ගල් කරන්න මේකට මතුරලා තියෙන්නේ. ඔබට ජය

Source Link : Wishma Lokaya

ජය ශ්‍රී මහා බෝධියට දෙවැනි වර ගහන්න කොටින් හැදු සැලසුම ව්‍යර්ථ කල හැටි

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණ සිටි සැදැහැවතුන් ඇතුළු 120 දෙනෙකු ඝාතනය කරමින් තවත් 85 දෙනෙකුට බරපතළ තුවාල සිදු කරමින් කොටි ත්‍රස්තවාදීන් ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කළේ 1985 වසරේ මැයි මාසයේ 14 වැනිදාය. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස සිටි සැදැහැවතුන් ජීවිතය බේරා ගැනීමට මරළතෝනි දෙමින් හිස් ලූ ලූ අත දිව යද්දී ලේ පිපාසයෙන් පෙළුණ කොටි ත්‍රස්තයෝ ඔවුන් පිටුපස පන්නා ගොස් වෙඩි තැබූහ.

කොටි ත්‍රස්තවාදීන්ගේ මේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් වසර 11කට පමණ පසු යළිත් එවැනිම ජන සංහාරයක් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී සිදුකිරීමට ද එයින් නොනැවතී ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් බඳුවූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ විනාශ කර දැමීමටද කොටි සංවිධානය සියල්ල සැලසුම්කර තිබියදී එම සැලැස්ම අවසන් මොහොතේ ව්‍යාර්ථ කිරීමට හැකි වූයේ ජාතියේ වාසනාවකටය.

කල් ඇතිව ඒ පිළිබඳව යුද හමුදා බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන පොලිසියේද සහය අැතිව එහිදී මහා විනාශයක් කිරීමට සම්බන්ධ කොටි ත්‍රස්තවාදීන් අල්ලා ගැනීම නිසාය. සිරුරේ අධි බලැති බෝම්බ බැඳගත් මරාගෙන මැරෙණ කළු කොටි ත්‍රස්තවාදීන් 10 දෙනෙක් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසට කඩා වැදී බෝධීන් වහන්සේ බදාගෙන සිරුරේ බැඳගෙන ආ බෝම්බ පුපුරුවා හැර එය විනාශ කිරීම කොටි සංවිධානය සැලසුම්කර තිබී ඇත.

අනුරාධපුරය ශ්‍රී මහා බෝධීන් වහන්සේ එවැනිම ආකාරයට විනාශකර දැමීමෙන් සහ එහිදී සැදැහැවතුන් විශාල පිරිසක් ඝාතනය කිරීමෙන් සිංහල බෞද්ධ ජනතාව කුපිත කරවා රටේ මහා ලේ වැගිරීමක් සිදු කිරීම කොටි සංවිධානයේ අරමුණ වී තිබී ඇත.

මෙවැනි විනාශයක් සිදු කිරීමෙන් පසු සිංහල බෞද්ධ ජනතාව කුපිත කරවා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි සාමාන්‍ය දෙමළ ජනතාව ඝාතනය කිරීමට සලස්වා ඒ හරහා ජාත්‍යන්තර වශයෙන් රජය අපකීර්තියට පත්කර ජාත්‍යන්තරයේ අනුකම්පාව දිනා ගැනීම ද කොටි සංවිධානයේ තවත් අරමුණක් වී තිබිණි.

හලාවත කොට්ඨාසය බාරව එවකට සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඊ.එච්. ගුණතිලක මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ පවත්වා ශ්‍රී මහා බෝධීන් වහන්සේට ප්‍රහාරයක් එල්ලකිරීමට සිටි කොටි ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගනු ලැබුවේ පුත්තලම විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපතිව සිටි උපපොලිස් පරීක්ෂක උපුල් චන්දන අබේසිංහ මහතා ඇතුළු ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.

ප්‍රහාරය සැලසුම් කළ කොටි ත්‍රස්තයන් අවි ආයුධ ද සමඟ අල්ලා ගැනීමට මඟ පෑදුනේ යුද හමුදා බුද්ධි අංශයේ රාජකාරී කළ සාජන් මේජර් නුගවෙල මහතාට ලැබුණු තොරතුරක් ඔස්සේ කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙනි.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඊ.එම්. ගුණතිලක මහතා 38 වසරක පොලිස් සේවයකින් පසු විශ්‍රාම ලබා ඇති අතර පරීක්ෂණ කණ්ඩායමේ නායකයාව සිටි උපපොලිස් පරීක්ෂක උපුල් චන්දන අබේසිංහ මහතා පොලිස් අධිකාරී නිලයට උසස්වීම ලබා සීතාවකපුර කොට්ඨාසය බාරව රාජකාරි කරයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අබේසිංහ මහතා විද්‍යාවේදී උපාධිය ලබා පොලිස් සේවයට එක්වී ඇත.

ජය ශ්‍රී මහා බෝධිය විනාශ කර දමා සමූහ ඝාතනයක් සිදු කර අනුරාධපුර පුණ්‍ය භූමිය ලේ විලක් කිරීමට මීට වසර 21කට පමණ ඉහතදී උත්සාහයක් වළක්වා ගත් ආකාරය මෙන්ම ඒ හා සම්බන්ධ තොරතුරු හෙළි කිරීමට ඉදිරිපත් වූයේ මේ හා සම්බන්ධව පරීක්ෂණ කටයුතු මෙහෙයවූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඊ.එම්. ගුණතිලක මහතාය.

යුදහමුදාවේ බුද්ධි තොරතුරු අංශ​ෙයන් තොරතුරු වාර්තාවක් මට එවා තිබුණා. ඒ බුද්ධි තොරතුරු වා​ර්තාවේ සඳහන්ව තිබුණේ ඉලංගෝ නමැති කොටි න​ායකයෙක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය වන්දනා මාන කිරීමට පැමිණ සිටින සැදැහැවතුන් ඝාතනය කර බෝධීන් වහන්සේ පුපුරුවා හැරීමට සුදානම් වෙමින් සිටින බවයි. මේ වාර්තාව දුටු ගමන් මෙහි ඇති බැරෑරුම්කම මම තේරුම් ගත්තා. ඉලංගෝ කියන කොටි නායකයා අල්ලා නොගත්තොත් මහා විනාශයක් සිදුවන බව තේරුම් ගත්තා. ඒ නිසා පුත්තලම මූලස්ථාන පොලිසියට සියලුම පොලිස් නිලධාරීන් කැඳවා මේ ගැන විශේෂ සාකච්ඡාවක් පැවැත්තුවා.

ඉලංගෝ කියන කොටි නායකයා අලි කෙඳි සහිත රන් මුදුවක් පැළඳ සිටින බව ද එම බුද්ධි තොරතුරු වාර්තාවේ සඳහන්ව තිබුණා. එය සැකකරු හඳුනාගැනීමට කදිම හෝඩුවාවක් වී තිබුණා. මා මේ ගැනත් සඳහන් කරමින් කෙසේ හෝ කඩිනමින් ඉලංගෝ අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාව පොලිස් නිලධාරීන්ට පවසා ඔවුන් දැනුම්වත් කළා.

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගුණතිලක මහතා වසර 21ක පමණ එහා අතීත සිදුවීමක් ගැන මතකය අවදි කරමින් කතාවට ආරම්භයක් ලබා දුන්නේ එසේ පවසමිනි.

සර් අලි කෙඳි තියන මුද්දක් දාගත්තු මිනිහෙක් ලොරියකින් එද්දී අපි අල්ලා ගත්තා. ඒ ලොරියේ රියදුරාවත් එ්ත් එක්කම අල්ලා ගත්තා. ​මේ දෙන්නවම අපි අල්ලා ගත්තේ මීට සති දෙකකට විතර කලින් යැයි කලා ඔය පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයාව සිටි කේ. ​ඩෙන්සිල් මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා හමුවේ කියා සිටියේ පසුව ඔහුව පොලිස් ඇප මත මුදාහැරිය බවද පවසමින්ය. පොලිසිය ඔහු මුදාහැර තිබුණේ ඇපකරුවකු ඉදිරිපත් වීමෙන් පසුවය. ඔහු පුත්තලම නාගවිල්ලුවේ පදිංචි මුස්ලිම් ජාතිකයෙකි.

කලාඔය පොලිස් මුරපොළේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක කේ. ඩෙන්සිල් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් කලාඔය පාලම අසල මාර්ග බාධකයේ 1996 වසරේ අගෝස්තු මාසයේ 25 වැනිදා රාත්‍රී රාජකාරී නිරතව සිටියදී අනුරාධපුර දෙස සිට පුත්තලම දෙසට ගමන් කරමින් තිබූ 28ශ්‍රී 1827 දරණ ලොරි රථය නවතා පරීක්ෂා කර බලා ඇත.

ලොරි රථයේ පොහොර උරයක බහා තිබියදී බිස්කට් පැකට් තොගයක්, ජෑම් බෝතල්, චොකලට් පැකට් 10ක් පමණ, පානීය ජල බෝතල්, සිසිල් බීම ​බෝතල් හා ග්ලූකෝස් පැකට් තොගයක් තිබී හමුවීම ගැන ඇතිවූ සැකයක් මත ලොරියේ රියදුරා වන පරන්තන් කුමාරපුරම් පදිංචි කන්දසාමි චන්ද්‍රබොස් සහ රිය සහායක කිලිනොච්චියේ පදිංචි රාමසාමි කුමාර් යන දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

මේවා පුත්තලම පාලවිය ප්‍රදේශයේ මිතුරෙකුට තෑගි වශයෙන් පරිත්‍යාග කිරීමට රැගෙන යන බව ලොරියේ රියදුරා පොලිස් ප්‍රශ්න කිරී​මේදී පවසා සිටියත් රියදුරා සහ රිය සහයකයා ලොරියත් එක්කම අත්අඩංගුවට ගෙන පුත්තලම මූලස්ථාන පොලිසියට බාරදී ඇත. සැකකරුවන් සන්තකයේ තිබූ රත්රන් මුද්දක් ද අත්ඔරලෝසුවක් හා රුපියල් 4,710ක පමණ මුදලක්ද පොලිස් බාරයට ගෙන ඇත. මුද්ද පැළඳ සිටියේ රාමසාමි කුමාර් නමැත්තාය.

පුත්තලම මූලස්ථාන පොලිසිය මගින් කළ විමර්ශනවලින් හා රාජ්‍ය බුද්ධි අංශයෙන් ලබාගත් තොරතුරුවලින් පසුව මොවුන් දෙදෙනා ඔවුන් සනන්තකයේ තිබියදී පොලිස් භාරයට ගත් බඩු බාහිරාදිය සමඟ මුදාහැර තිබෙනවා. මුස්ලිම් ජාතිකයකු ඇපකරුවෙකු ලෙස ඉදිරිපත්වීමෙන් පස්සේ තමා මොවුන් දෙදෙනා මුදාහැර තිබෙන්නේ. ලොරියද පොලිසිය මුදාහැර තිබෙනවා.

උපපොලිස් පරීක්ෂක ඩෙන්සිල් ඔහු අල්ලාගත් දෙදෙනාගෙන් එක් අයෙක් අලි කෙඳි සහිත රන් මුද්දක් පැළඳ සිටි බව කිව්ව නිසා පොලිසිය අල්ලා පසුව මුදාහැර ඇත්තේ ඉලංගෝ කියන කොටි නායකයා බව මට තේරුණා. මා වහාම ඔහු අත්අඩංගුවට ගැනීමට  පුත්තලම විශේෂ ආරක්ෂක විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක උපුල්  චන්දන අබේසිංහහගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායමක් පත් කළා යැයි විශ්‍රාමික  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කීය.

මෙම පොලිස් කණ්ඩායමට උපපොලිස් පරීක්ෂක ඩෙන්සිල්, පොලිස්  කොස්තාපල්වරුන් වන ජයසුන්දර (21376), සරත් (19718) සහ විතාන (24688) යන  මහත්වරුද ඇතුළත් වූහ. ඇප මත මුදාහැර සිටිය  ලොරියේ රියදුරා සහ සහයකයා ඉතාම සූක්ෂ්ම ආකාරයට උපක්‍රමශීලීව නැවත අත්අඩංගුවට ගැනීමට සැලසුම් කළේ උපපොලිස්  පරීක්ෂක උපුල් චන්දන අබේසිංහ මහතාය.

ලොරි රථයේ රියැදුරාට සහ සහායකයාට ඇප ලබාදීමට ඉදිරිපත් වූ  මුස්ලිම් ජාතිකයාට කතා කර ඇති උපපොලිස් පරීක්ෂක අබේසිංහ මහතා අමතක වීමකින්  රියදුරාගේ හා සහයකයාගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමට නොහැකි වූ බවත් මෙය  පොලිසියේ ලොකු මහත්වරු දැන ගත්තොත් අපේ රස්සාව නැති වෙන බවත් කියා ඇත.

පොලිසිය යෙදූ ඇමට මුස්ලිම් ජාතිකයා අසුවිය. රියදුරා හා සහායකයා වවුනියාව හාල් මෝලක සිටින බවක් ඔහු පවසා සිටි නිසා පොලිස් කණ්ඩායම වවුනියාව බලා පිටත්ව ගියේ ඇපකරුද කැටිවය. මුස්ලිම් ජාතිකයා (අැපකරු) පැමිණි කාරණය කී විට රියදුරා සහ රිය සහයකයා ඇඟිලි සලකුණු ලබාදීමට පොලිසිය එක්ක පුත්තලම පොලිසියට යාමට කැමැත්ත ප්‍රකාශ කර ඇත.

පොලිස් නිලධාරීන්ද රියදුරා රිය සහයකයාව මෙන්ම මුස්ලිම් ජාතිකයාට ද කිසිම සැකයක් ඇති නොවීමට වග බලා ගනිමින් වවුනියාවේ සිට පුත්තලම දක්වා එන අතරවායේ කන්න බොන්න ලබාදී බොහොම සුහදව කතා බස් කරමින් පැමිණ තිබේ. ලොරි රියදුරා සහ සහයකයා ද පොලිසිය යෙදූ ඇමට හසුවිය.

උපක්‍රමශීලී ලෙසින් පුත්තලම මූලස්ථානයට කැඳවාගෙන ආ රියදුරා සහ සහයකයා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඔවුන්ට එරෙහිව චෝදනා කියාදීමෙන් පසුවය. ලොරියේ සහායකයා වන රාමසාමි කුමාර් දෙවනිවරට ද ​පොලිස් අත්අඩංගුවට ගන්නා මොහොතේද අලි කෙන්දක් යොදා සාදා තිබූ රත්රන් මුද්ද පැළඳ සිටියේය. විශ්‍රාමික​ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඊ.එම්. ගුණතිලක මහතා ඊට පස්සේ වෙච්ච කෙරිච්ච දේවල් ගැන සිය මතකය අවදිකරමින් මෙසේ කීය.

කලාඔය පාලම ළඟදී නවතාගත් ලොරියේ සිටියදී අත්අඩංගුවට ගත් රාමසාමි කුමාර් කියන්නේ ඉලංගෝ බව ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිකරගත්තා. ඒ විතරක් නෙමේ ජය ශ්‍රී මහා බෝධිය පුපුරුවා හැරීමට හා එහි වන්දනා මාන කරන බැතිමතුන් ඝාතනය කිරීමට යොදා තිබූ සියලු තොරතුරු ඉලංගෝගෙන් ප්‍රශ්න කිරීමේදී වැමෑරවා.

ප්‍රහාරය සඳහා ගෙනා අවි ආයුධවලින් කොටසක් සඟවා අති ස්ථානය ගැන පවා තොරතුරු ඔහු හෙළිකළා. අධි බලැති බෝම්බ බැඳගත්ත මරාගෙන මැරෙන කළු කොටි 10 දෙනෙක් ජය ශ්‍රී මහා බෝධිය ළඟට ගොස් බෝධිය බදාගෙන සිරුරේ බැඳගෙන සිටින බෝම්බ පුපුරුවා ගැනීමටත් තවත් කොටි කණ්ඩායමක් බෝ මළුවේ වන්දනා මාන කරන සැදැහැවතුන්ට වෙඩි තබා ඝාතනය කිරීමටත් සැලසුම්කර ඇති බව ඉලංගෝ පැවසුවා.

ඉලංගෝ​ නමැති කොටි නායකයාගෙන් මමත් ප්‍රශ්න කළා. මෙවැනි මහ විනාශයක් සිදු කිරීමට හේතු ඔහු හෙළිකළා. මෙවැන්නක් කිරීමට ඉලංගෝට පවසා තිබුනේ කොටි බුද්ධි අංශයේ නායක පොට්ටු අම්මාන් බව ඔහු කිව්වා. හමුදා මෙහෙයුමකදී කොටින්ගේ සොහොන් කොත් කඩා විනාශ කිරීම බව ඔහු කිව්වා. මේ ප්‍රහාරයේ තවත් අරමුණක් කොටි සංවිධානය තුළ තිබී ඇති බව මම ඉලංගෝගෙන් දැන ගත්තා. මේ ප්‍රහාරයෙන් පස්සේ සිංහල ජනතාව කුපිත වී දෙමළ ජන සංහාරයක් කළහොත් දකුණේ දෙමළ ජනතාව ආරක්ෂාව පතා උතුරට පැමිණි පසු එය ජාත්‍යන්තරයට ගෙනගොස් ඊළාම් රාජ්‍යයක් පිහිටුවා ගැනීමට පහසුවෙන බව කොටින්ගේ ලොකු විශ්වාසයක් පැවත තිබෙනවා.

ඉලංගෝ කියන කොටි නායකයාගෙන් යුද හමුදා බුද්ධි අංශයේ හා පොලිසියේ නිලධාරීන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් පස්සේ අවි ආයුධ බෝම්බ සයිනයිඩ් කරල් සඟවා ඇති ස්ථානයන් ගැන හෙළිකර සිටියා.

ඉලංගෝගේ ප්‍රකාශය මත ඔහුගේ මඟ පෙන්වීම යටතේ ගොස් පුත්තලම – අනුරාධපුරය මාර්ගයේ 23/2 බෝක්කුව පිහිටි පහරිය හංදියට තරමක් ඈතින් කැලෑවේ සඟවා තිබූ ටී-56 සවයංක්‍රීය ගිනිඅවි දෙකක්, ටී-56 පත​ෙරාම් ගැබ් 84ක්, පූචස් එකක්, 7.62 වර්ගයේ උණ්ඩ 120, ජේ.ආර්. වර්ගයේ අත්බෝම්බ 02ක්, සයිනයිඩ් කරලක්, කෝඩ් ක්‍රමයට කතාකරන ආකාරයේ සංඥා ලියුම් දෙකක්, බිස්කට් පැකට් 157ක්, ජෑම් බෝතල් හා වතුර කෑන් සොයා ගත්තා.

මේවා සෙයාගත්තාට පස්සේ ඉලංගෝ හෙළිකළ තොරතුරක් මත විශේෂ පෑනක් සොයා ගැනීමට ඔහුව වවුනියාවට රැගෙන ගියා. එම පෑනත් අපි සොයා ගත්තා. මේ පෑනේ තිබෙන විශේෂත්වය තමා දෙහි ඇඹුල් වැනි කිසියම් ඇඹුල් වර්ගයක් දමා කොළයක යමක් ලියා පසුව එම කොළය විදුලි ස්ත්‍රික්කයට හෝ අධි සැර විදුලි බුබුලකට අල්ලා රත් කළාම ලියපු දේ හරිම අපූරුවට මතු වෙනවා. කොටින් ඔවුන්ගේ රහස් පණිවිඩ ලිවීමට මේ ඇඹුල් දමා ලියන පෑන උපයෝගී කරගෙන තිබෙනවා යැයි සොයාගත් පෑන ගැන  තොරතුරු පැහැදිලි කරමින් විශ්‍රාමික ​ෙජ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයා කීය.

උපපොලිස් පරීක්ෂකවරුන් වන උපුල් චන්දන අබේසිංහ, ඩෙන්සිල්, ආරියරත්න, නාරම්පනාව, පොලිස් සැරයන් පෙරේරා (14888), පොලිස් කොස්තාපල්වරුන් වන නාලක (19690), දිසානායක (33343), මහින්දරත්න (33507), සිවිල් ආරක්ෂක බලකායේ හේරත් බණ්ඩා (43141), අමරසිංහ (18235) සහ අනුර (17265) යන මහත්වරුද පුත්තලම හමුදා කඳවුරේ බුද්ධි අංශයේ කපිතාන් රවි ප්‍රනාන්දු, මේජර් කරුණාරත්න හා සාජන් මේජර් නුගවෙල යන මහත්රුද අවි ආයුධ හා පෑන සොයා ගැනීමේ මෙහෙයුමට හවුල්වූ පොලිස් හා හමුදා කණ්ඩායමට ඇතුළත් වූහ.

වයඹ පළාත බාර නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඊ.එම්. ගුණතිලක මහතාගේ විශේෂ උපදෙස් මත සිදුකෙරුන මෙම පරීක්ෂණවලට පුත්තලම සහකාර පොලිස් අධිකාරී ආර්.එම්.ඒ. රත්නායක සහ පුත්තලම මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ. ජයසූරිය යන මහත්වරු මෙම පරීක්ෂණවලට විශේෂ දායකත්වයක් මුල සිටම ලබාදී ඇත.

අනුරාධපුරය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට හා බෝමළුවේ සිටින සැදැහැවතුන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට කලින් ඒ සඳහා අවශ්‍ය ඔත්තු බලා රහස්‍ය තොරතුරු වාර්තාවක් පොට්ටු අම්මාන්ට යවා ඇත්තේද ඉලංගෝය. ජය ශ්‍රී මහා බෝධිය අවට යොදා ඇති ආරක්ෂාව හා මුරකපොලු සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමට ඉලංගෝ ගොස් ඇත්තේ සුදුවතින් සැරසී නෙළුම්මල් වට්ටියක් ද රැගෙන බෝධිය වන්දනා මාන කිරීමට යන බැතිමතෙක් ලෙසය.

ඉලංගෝ මෙවැනි ආකාරයට කිහිපවරක්ම බෝ සමිඳු අබියසට ගොස් තිබෙන බව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගුණතිලක මහතා කීය.  ඒ හා සම්බන්ධව ඉලංගෝ පොලිසියට කළ පාපොච්චාරණය ඇතුළු විස්තර ඊළඟට කියවමු.

සටහන ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ලිපි මුලාශ්‍රය – ලංකාදීප පුවත්පත

Source Link : Wishma Lokaya

පෘථිවියෙන් එපිට වෙනත් ග්‍රහලෝකයක පහල වූ අභය බුදුන්ගේ විශ්මිත කතාව

සහා ලෝක ධාතුවට ආලෝක වර්ෂ ශත සහස්‍ර ගණනකට එපිටින් පිහිටි ලෝක ධාතුවක අප පෘථිවියට බොහෝ දුරට සමාන වූ ජිව්හා නම් ග්‍රහයකු විය. මධ්‍යකාලීන යුගයක් පැවති සමයෙක ශ්වේතකේතු නම් චක්‍රවර්ති රජවරයකු දසරාජ ධර්මයෙන් ජනයාට සංග්‍රහ කරන කාලයක එහි අභය නම් බුදුවරයකු පහළ විය.

උන් වහන්සේ හා ශ්‍රාවක සංඝයා වෙනුවෙන් රජු විසින් අගනුවරට එපිටින් ආරාම, සන්ථාගාර, ගිලන්හල්, ධර්මශාලා හා උපාසක උපාසිකාවන්ට විශ්‍රාමශාලා වලින් යුතු ආරාමයක් පූජා කර තිබුණි. මෙම ආරාමයේ පිවිසුම සම්බන්ධවූයේ නගරයේ ප්‍රධාන මාර්ගයටයි.

එක් දිනක උදෑසන බුදුන් වහන්සේ අග්‍ර උපස්ථායක වූ සාවිත්‍ර තෙරුන් සමඟ ආරාමයෙන් පිටතට පිඬු සිඟා යාම පිණිස නගරයට දෙසට වඩින්නට විය. මාර්ගය දෙපස තිබූ වාධූර්ය ගස් වලින් ගිනි රතු පැහැ පත්‍ර මාර්ගය පුරා වැටී තිබුණි. එම ගස් වල දැඩි සුලඟකට වුවත් නොවැටෙන වසන්තයට පමණක් පිපෙන තද කොළ පැහැ අති සුගන්ධවත් වාධූර්ය මල් වැනෙන්නට විය. දූවිලි හා පත්‍ර අවුස්සමින් විටින් විට මඳ සුලඟක් හමායන්නට විය. ගස් පෙළ අවසන් වූයේ නගරයේ එකිනෙකට යාබදව සාදා තිබූ නිවෙස් පේළිය සමඟය.

නගරය ඉසිළුවේ දැඩි පාළු සහගත ස්වභාවයකි. මාර්ගය ජනශූන්‍ය වූ අතර දක්නට ලැබුණේ අයාලේ ගිය සුනඛ රංචුවක් පමණි.

මේ අතර ඈතින් රුවක් ඇදෙන්නට විය. රුව ළංවත්ම සාවිත්‍ර තෙරුන් ඔහුව පහසුවෙන් හැඳුනා ගත්හ. දුර්වර්ණ වූ දිගු ඇඳුමකින් සිරුරම වසා ගත්, තවත් රෙද්දකින් ඇස් පමණක් නිරාවරණය වන සේ මුහුණ ආවරණය කරගත් පැමිණිමෙන් සිටියේ එම පෙදෙසේ නිවෙස් වල කසළ බැහැර කරන්නෙකු වූ ශෝධකයෙකි.

එක් කකුලක් අද්දමින් දූවිලි මඳක් අවුස්සමින් පැමිණි ඔහු තමන් කරා මුහුණට මුහුණ ලා එලැඹෙන බුදුන් වහන්සේ හා සාවිත්‍ර තෙරුන් දුටුවේ, හොඳටම ළං වූ පසු බිමට පාත් කළ හිස ඔසවා බැලීමේදීයි. ඔහුගේ දෑස් මහත්ව වික්ෂිපත් වී උන් වහන්සේලා මඟ හැරීමට නොහැකිවීම ගැන පසුතැවිල්ලෙන් මාර්ගයෙන් පසෙකට වී බිම බලාගෙන හුන්නේය.

බුදුන් වහන්සේ ඔහු පසුකරයාමට ගියා පමණි:ඒ පුද්ගලයා ඇසිල්ලකින් උන්වහන්සේ කරා එලැඹ සිය ඔලොගුවෙන් ගත් දෙයක් බුදුන් වහන්සේගේ පාත්‍රයට දමා හිස නවාගෙනම වැඳීමක් වත් නොකරම වේගයෙන් කකුල අද්දමින් එතැනින් නික්ම ගියේය.

බුදුන් වහන්සේ මඳකට නැවතුණු සේක. උන්වහන්සේගේ මුහුණේ ආශ්චර්යවත් මඳහසක් මතුවන්නට විය. සාමාන්‍ය මිනිසුන් මෙන් බුදුවරු අකාරණයේ සිනා පහළ නොකරන වග දත් සාවිත්‍ර තෙරුන් වහන්සේ ඊට හේතුව විමසා සිටිහය.

”සාවිත්‍රය තොප දන්න පරිදි භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් මහත්ඵල මහානිශංස ලැබෙන දානමය පුණ්‍යකර්මය කළේ කවරෙක්ද?”

සාවිත්‍ර තෙරුන් මෙසේ පිළිවදන් දුණි.

”භාග්‍යවතුන් වහන්ස. . ශ්වේතකේතු රජු දුන් අසදෘෂ දානය මහත්ඵල මහානිශංස ලෙස දකිමි. . ”

බුදුන් වහන්සේ පාත්‍රයට අතදමා ශෝධක විසින් පූජා කළ වියළි ශාක පත්‍රයකින් ඔතා පිටි හා පැණි මිශ්‍ර කර සෑදූ කැවිල්ල ශ්‍රී හස්තයට ගත්හ. ඉක්බිති සාවිත්‍ර තෙරුන් ඇමතූහ.

”සාවිත්‍රය තොප මේ දානය ගැන කුමක් කියන්නේද??”

සාවිත්‍ර තෙරුන් මඳක් විපිළසර වී බුදුවරු විසුළු නොකරන වග දන්නා බැවින් මෙසේ පිළිවදන් දුන්හ.

”එය අසදෘෂ දානය හා සංසන්දනය කළ නොහැක භාග්‍යවතුන් වහන්ස!. . ජල බිඳුවක් හා ගංගාවක් මම කෙසේ සංසන්දනය කරම්ද?”

ඉන්පසු බුදුන් වහන්සේ මේ පැනය විචාලහ. .

”සාවිත්‍රය . . අසදෘශ දානය අනෙක් සියළුම දාන ඉක්මවා මහත්ඵල මහානිශංස වන්නේ කෙසේද??”

සාවිත්‍ර තෙරුන් දීර්ඝ පිළිතුර ඇරඹූහ. .

”ස්වාමීනී. . ඔබ වහන්සේ වෙනුවෙන් පෙරමන් ආවේ චක්‍රවර්ති රජුය, ඔබ වහන්සේව ඔහු පාසෝදා පිළිගත්හ, ප්‍රධාන රහතන් වහන්සේලා අනික් රාජකීයයන් විසින්ද, අවශේෂ සංඝයා සෙනෙවිරත් වරුන්ගෙන් හා සෙබළුන් මඟින්ද එසේ පිළිගන්නා ලදී. . අප වෙනුවෙන්ම භෝජනාගාර හා මණ්ඩප ඉදිකර තිබුණි. ලොව හොඳම කැටයම් කරුවන් ඒවා අලන්කෘත කර තිබුණි. ඔබ වහන්සේ වෙනුවෙන් දියමන්තියෙන් සෑදූ අසුනක් පනවා තිබුණි, චිත්‍ර ශිල්පීන් භෝජනශාලා හ ධර්මශාලා තමන්ගේ විචිත්‍රභාවයෙන් නොඅඩුව පුරවා තිබුණි.

එක් එක් භික්ෂුව වෙනුවෙන් එක් එක් මෙහෙකරුවකු සේවයේ යොදවා තිබුණි, අරක්කැමියන් සෑම ආකරයකටම අහාර වට්ටෝරු සාදා තිබුණි. දානය අවසානයේ ධර්මශාලාවට අප වැඩියේ ඇතුන් අල්ලා සිටි මුතුකුඩ සෙවණක් යටිනි. ධර්ම දේශනාවෙන් පසු ඉස්තරම්ම පිරිකර ඔවුන් පිළිගන්වන ලදී. රජු අවසානයේ ඔබ වහන්සේට වැඳ දෑස් වසා තම දානයේ ආනිශංස ලෙස යමක් පැතුවේය. . .

මේ කාරණා නිසා මම එය මහත්ඵල මහානිශංසයැයි කියමි. . ”

බුදුන් වහන්සේ මඳක් තූෂ්ණිම්භූතව හිඳ මෙසේ කියූහ. .

”සාවිත්‍රය ඊයේ ඇරඹුණු වසන්ත සැණකෙලිය සඳහා නුවරුන් මෙහින් නික්ම අගනුවර කරා ගොස් ඇත. උත්සවය කෙළවර වන්නේ අද සවසයි.

මේ පුද්ගලයා දිනපතා ආහාර සොයාගන්නේ කසළ එකතු කර බැහැර කිරීමට භාර ගන්න නිවෙස් වලිනි. දිනකට පෙර සවස් යාමයේ මොහු නිවෙසකට ගිය විට එහි සිටි කාරුණික ස්වාමිදුව නුවරුන් සියල්ලම වසන්ත උළෙලට යන බව දැන මොහුට ආහාර නිසි පරිදි නොලැබේයයි අනුකම්පාවෙන් මෙම කැවිලි සතරක් ඔහුට පරිත්‍යාග කළාය. මොහු වැඩ නොමැති බැවින් ඊයේ ප්‍රමාණවත් ආහාරයක් නොලැබ මෙම කැවිලි අරපිරිමැස්මෙන් අනුභව කරන ලදී. අද උදෑසන ඔහුට ඉතුරු වූයේ එක් කැවිල්ලක් පමණි. අපට පින්ඩපාතයේ යාමේදී මේ ජනශුන්‍ය දිනවල ඇතිවන අපහසුව දත් රජු විසින් මේ දින දෙකට එවන ලද ආහාර හා අරක්කැමියන් ගැන ඔහු කිසිවක් නොදැන සිටියේය. මමද මොහු කෙරේ කරුණාවෙන් කිසිවෙක් නැති මේ නගරයේ පිඬු සිඟා වැඩියෙමි.

මොහුහට මා දක්නට බලාපොරොත්තුවක් නොතිබුණි. වෙනදා මෙන් මිනිසුන් නැති නිසා මොහු ප්‍රධාන මාර්ගයේ ගමන් කළේය. මා දුටු විගස මොහු මඟහැරීමට අතුරු පාරක් සෙවීය. නැවත් නොහැරුණේ වේගයෙන් ඇවිදීමට නොහැකි බැවිනි. . මොහු දැකීමට ලැබීම බොහෝ මිනිසුන් අශුභ ලකුණක් සේ සලකති.

පෙර භවයක මොහු එක් සෙනෙවියෙක්ව අල්ලාගන්නා ගත් සතුරන් කැකෑරුණු තෙල් කටාරම් වල දමා සෙමෙන් ගිනි අවුලා ඔවුන්ගේ දුක් විඳීම මහත් ප්‍රීතියෙන් බලා සිටීමට ලොල් විය. මරණයෙන් පසු බොහෝ දුක් විඳි ඔහු මේ භවයේ උපන්නේ සිරුර පුරා කුෂ්ඨ දැමූ අනාථයකු ලෙසය. මිනිසුන් මොහු දැක කම්පනයකටත් දැඩි පිළිකුලකටත් පත්වූහ. මොහු මෙසේ සිරුරම ආවරණය කරන්නේ එම කුෂ්ඨ නොපෙනීමටයි.

ඉදින් මොහුට මා මඟහැරීමට අවකාශයක් නොතිබුණි. අයිනකට වූ ඔහු කල්පනා කළේ මේ පාළු නගරයේ කුමක් නිසා බුදුන් පිඬු සිඟා වඩියිද යන්නයි. මිනිසුන් නැති බැවින් බුදුන්ට පිණ්ඩපාතය නොලැබී නිරාහාර වන්නට වේ යැයි ඔහු තුල චිත්ත වික්ෂේපයක් හට ගැනුණි.

තමන් කුසගින්නේ සිට හෝ බුදුන්ට පිණ්ඩපාතය දීමට ඔහුට අවශ්‍ය විය. නමුත් ප්‍රධාන සෙනෙවිගේ පවුලට උපන් කුඩා කල සිට සැප සම්පත් ලද , දැන් රාජකීයයන්ගෙන් පවා බුහුමනට පාත්‍ර වන භාග්‍යවතුන් වහන්සේ තම රළු ආහාර පිළිගනීදැයි විපිළිසර වෙමින් සිටියේය. . මම ඔහුට ළන්වත්ම පාත්‍රයෙන් සිවුර මඳක් මෑත් කළෙමි. මම ඔහුගේ චිත්තය හඳුනාගත් බව දුටු ඔහු මා කෙරේ මහත් ස්නේහයෙන් හා කරුණාවෙන් මෙය පුදා ආනිශංසයක් ගැන නොසිතා වැඳීමක් වත් නොකරම යන්නට ගියේය. .

සාවිත්‍රය. . තොපෙන් මේ ප්‍රශ්න විචාරමි පිළිතුරු දෙනු. .

ශ්වේත කේතු රජ මේ දානයට කොපමණ මුදලක් වැය කළේද??”

”ස්වාමීනී, අසූ කෙළකි”

”සාවිත්‍රය ඒ ඔහුගේ සියළු වත්කමද?”

” නැත ස්වාමීනී. . එමෙන් දස ගුණයකටත් වඩා ඔහුගේ භාන්ඩාගාරය පොහොසත්ය”

”රජු මේ ධනය රැස් කරගත්තේ කෙසේද??”

”ස්වාමීනි. . එය ප්‍රවේණිගත ධනයකි. තව අයබදුද අය කෙරේ. ”

”රජු දානය වෙනුවෙන් කුමක් කළේද?ආහාර පිසුවේදම්?කැටයම් කැපුවේද?සැරසීම් කළේද? මණ්ඩප සෑදීමට ගත් කණුවක් එසවීමට්වත් උදවු වූවේද??”

”නැත ස්වාමීනී. . ඔහු එය මෙහෙයවූවා පමණි. . ”

”රජු දානය දුන්නේ මා කෙරේ හුදු භක්තිය නිසාද??”

”ස්වාමීනී. . ඔහු භක්තිමත් බව දනිමි. . එහෙත් ඔහු ආනිශංස බලාපොරොත්තු විය. ”

”සාවිත්‍රය සිහි එළවා ගනු. මේ මනුෂ්‍යයා අපහසුවෙන් වැඩ කර, තමන් කුස ගින්නේ ඉන්නට වන බව දැන දැන සන්තකයේ වූ සෑම දේ වන එම කැවිල්ල භාග්‍යවතුන් වහන්සේ කෙරේ ආදරයෙන් උන්වහන්සේ නිරාහාර වේ යැයි බියෙන් කිසි ආනිශංසයක් නොසිතා පූජා කළේය. . තොප කුමක් සිතයිද?”

සාවිත්‍ර තෙරුන් කාරණය වටහා ගත්හ. ඉන්පසු බිම බලාගෙන මෙසේ විචාලහ. .

”ස්වාමීනී වැටහේ. . මේ කසළ ශෝධකගේ දානයට අසදෘෂ දාන සියයක් වත් සම කළ නොහැක. එහි ආනිශංස ගැන දැනගැනීමට කැමැත්තෙමි. ”

බුදුන් වහන්සේ පිළිවදන් දුන්හ.

”සාවිත්‍රය, ආනිශංස පවා නොසලකා ආත්මාර්ථය හැර ඔහු කළ මේ දානයේ ඵල අධිකය. .

හෙට දින මොහු පියගැට පෙළකින් වැටී හිස කැඩී ක්ෂණයකින් මිය යන්නේය. එය වේදනා රහිත ශාන්ත මරණයක් වන්නේය. ඔහුගේ අයහපත් කර්මඵල එයින් අවසාන වන්නේය.

මළ විගස තවුතිසාවේ ඉපිදෙන්නේය. ශක්‍ර දේවේන්ද්‍ර වන්නේය. ඉන්පසු කල්ප අටසියයක් ශක්‍ර දේවේන්ද්‍ර ලෙසම චුත වෙමුන් ඕපපාතිකව පහළවන්නේය. .

කල්ප දහසක් මහේශාක්‍ය දෙවියකු වන්නේය.

සියදහස් වාරයක් සක්විති රජවන්නේය. ගණන් කළ නොහැකි තරම් වාරයක් ප්‍රදේශ රජ වන්නේය.

අවසානයේ රජ පවුලක ඉපිද නෛෂ්ක්‍රමණය කර සර්ව මිත්‍ර ලෙස ධර්මය නැති කාලයක පසේ බුදු වන්නේය. .

සාවිත්‍රය මේ ඔහුගේ කැවිලි පූජාවේ ආනිශංස වේ!”

මේ නියත විවරණය සමඟම මඳ සුලඟක් හැමුවේය. ගස් සෙමෙන් පැද්දෙන්නට විය. තුරු සෙවණේ ඇවිදිමින් සිටි ශෝධක වාධූර්ය මලින් නැහැවීගියේය.

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න

ලිපි මුලාශ්‍රය – Omonetwork

Source Link : Wishma Lokaya

ශ්‍රී ලංකා හමුදාවේ දක්ෂතම ඉලක්ක වෙඩික්කරු නීරෝගේ කතාව

ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි දක්‍ෂතම වෙඩික්කරු ලෙස හැදින්වෙන රංජිත් ප්‍රේමසිරි හෙවත් නිරෝගේ නමින් ගම්මානයක් ඉදිකිරීමට රජය තීරණය කිරීමත් සමග ඔහු පිළිබඳව නැවතත් ආවර්ජනාත්මක කතාබහක්  ඇති වී තිබෙනවා.

වන්නි මානුෂික මෙහෙයුමට අවතීර්ණ වන විට වසර 9ක ස්නයිපර් සෙබළෙක් ලෙසද වසර 18ක් යුධ හමුදා සෙබළෙක් ලෙසත් අත්දැකීම් විශාල ප්‍රමාණයක් ලබාගෙන අවසන්. මඩු, මන්නාරම, කිලිනොච්චි, පරන්තන්, පූනරින්, පුදුකුඩිරිප්පු, අලිමංකඩ හා මුලතිව් ප්‍රදේශයන්හි ක්‍රියාන්විතයන් වලදී සැඟවුණු වෙඩික්කරුවෙක් ලෙස පාබල සේනාංක වලට ඉදිරියට ගමන් කිරීමේදී ඇති වන බාධක සියල්ල තම උපරිම උත්සාහයෙන් ඉවත් කරන නීරෝ ශ්‍රී ලංකා යුධ හමුදාවේ ස්නයිපර් සෙබළෙක් ලබා ගත් ඉහළම ත්‍රස්ත ඉලක්ක ගණන වන ත්‍රස්ත ඉලක්ක 217ක් ලබා ගන්නට සමත් වෙනවා

දක්ෂ සැඟවුණු වෙඩික්කරුවකු ලෙස පුහුණුවන්නට 2000 වසරේ දී ස්නයිපර් පාඨමාලා අංක 08 හදාරන රංජිත් එහිදී නීරෝ යන රටම දන්නා සංකේත නාමයෙන් හැඳින්විණි. විශේෂ බළකා ට්‍රැෆලින් පුහුණුව ප්‍රගුණ වෙඩික්කරු උපදේශක පුහුණුව, සැඟවුණු වෙඩික්කරු පුහුණුව, ඒකක වෙඩික්කරුවන්ගේ පාඨමාලාව ඇතුළු පුහුණුව සාර්ථකව හදාරා තිබු නීරෝට තම රාජකාරිය මැනවින්ව ඉටු කිරීමේ අති දක්ෂතාවයක් ලැබී තිබුණා

එක්තරා අවස්ථාවක ඉදිරි ආරක්ෂක වළල්ල දෙසට වේගයෙන් පැමිණෙමින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සුදානම් වූ කළු කොටි සාමාජිකයන් දෙදෙනෙක් සිටි ට්‍රැක්ටරයකට නීරෝ ඈතදීම ස්නයිපර් ප්‍රහාර එල්ල කර එම උත්සාහය ව්‍යර්ථ කර දැමීම ඔහුගේ ඉහළම දක්ෂතාවක් වූ එම ප්‍රහාරයත් සමඟ නීරෝ යුද පිටියෙන් එපිට සාමාන්‍ය ජනතාව අතර ද ජනප්‍රිය ස්නයිපර් සෙබළෙක් බවට පත් වුණා.

තවත් විටක පුදුකුඩුඉරිප්පුව මුදා ගැනීමේ සටනේදී ගසක් උඩ සිට අවට ප්‍රදේශ නිරීක්ෂණය කරන නීරෝට දිස්වෙන්නේ බැකෝ යන්ත්‍ර දෙකක් මගින් පස් බැම්මක් ඉදිකරමින් සිටින කොටි සාමාජිකයන් පිරිසක්. ඔහු එම අවස්ථාවේ කාලතුවක්කු ආධාරද ඇතිව බැකෝ යන්ත්‍ර දෙකත් ඒවා මෙහෙය වූ ත්‍රස්තයන් කණ්ඩායමත් සම්පුර්ණයෙන් විනාශ කර දමන්නට සමත් වීම ඔහුගේ වීරත්වයට තවත් ඉහළ උදාහරණයක්.

කෙසේ වෙතත් 2009 වසරේ කොටි මෝටාර් ප්‍රහාරයටකට ලක් වෙන නීරෝ ඉන් තුවාල ලැබුවද  තුවාල හරි හැටි සුව වී නොතිබුනද ඔහු නැවතත් අප්‍රේල් මාසයේ 21 වන යුද පිටියට පැමිණෙන්නේ ඔහුට දියතලාවට ගොස් සම්පූර්ණ සුවය ලැබෙනතුරු ඉන්නැයි කර්නල් වනසිංහ දුන් අවස්ථාවද ලබා නොගනිමිනි.“අවසන් සටනේ කොඩිය දානකොට මමත් එහේ ඉන්න ඕනෑ” නීරෝගේ බලවත් ආශාව වුයේ එයයි. නමුත් අවාසනාවකට නීරෝට තම බලාපොරොත්තු ඉටු කර ගැනීමට අවස්ථාව ලැබුනේ නෑ.

පුදුමාතලන්හි පළමු පස් බැම්ම අසළ සැඟවී යුද්ධයේ අවසන් මොහොතේ සාමාන්‍ය ජනතාව සේ යුද හමුදාවට ප්‍රහාර එල්ල කිරීමට පැමිණෙන ත්‍රස්තවාදීන්  දුර සිට හඳුනාගෙන විනාශ කිරීම භාරව තිබුනේ නීරෝට වන අතර සිය වගකීම නියමාකාරයෙන් ඉටු කරමින් සිටි නීරෝ අප්‍රේල් 28 වනදා උදෑසන 6:30ට පමණ කොටි ස්නයිපර් සාමාජිකයකුගේ දුර දක්නයකට හසුවනවා. ඉන් මොහොතකට පසු එම ත්‍රස්තවාදියාගේ ස්නයිපර් උණ්ඩයකට හසුවන නීරෝ පුදුමාතලන් පස් බැම්ම බදාගෙන සදහටම නිහඬ වුනා.

රට වෙනුවෙන් නිහඩ අභීත මෙහෙවරක් ඉටු කළ නීරෝ වෙනුවෙන් වීරවික්‍රම විභූෂණ, රණවික්‍රම හා රණශුර පදක්කම් සඳහා නිර්දේශවූ අතර පූර්ණ භූමි, උතුරු නැගෙනහිර සංග්‍රාමික, රිවිරැස, දේශ පුත්‍ර සම්මානයෙන්ද පිදුම් ලැබුවා.

ආදරණිය සොයුර , ඔබ වැනි පුතුන් තව තවත් ලක් දෙරණේ ඉපදේවා !!! ඔබට නිවන් සුව

Source Link : Wishma Lokaya

විජය ඝාතනය කල හැටි ඝාතකයා හෙළි කරයි – මම විජයගේ පිටට වෙඩි දෙකක් තිබ්බා

වේලාව උදෑසන දහය, දහයයි තිහ පමණ වන්නට ඇත. කුලියට ගත් කඩය අසලින් නික්‌ම ගිය දෙදෙනා, කිරුළපන පාර දිගේ පැමිණියේ, පාලගේ ගරාජයට යන අදහසිනි. බයිසිකලයට නැගුණු ලයනල් එය පදවාගෙන යන ටාසන්ට පවසන ලද්දේ, තමන් පාලගේ ගරාජයට ගොස්‌ තුවක්‌කුව රැගෙන එන තෙක්‌, බයිසිකලයෙන් රවුමක්‌ ගසා පැමිණෙන ලෙසය. ඒ අනුව අතුරු පාර අසලින් බැස ගත් ලයනල්, තනිවම පාලගේ ගරාජයට පැමිණියේය. පාල, ශ්‍රී කාන්ත සහ තවත් අයෙකු ගරාජයේ සිටි අතර ලයනල් විසින් පාලට පවසන ලද්දේ, ගරාජයේ තිබෙන තුවක්‌කුව සහ ග්‍රෙනේඩය දමන ලද කළු බෑගය, කිට්‌ටුව තැනකින් තබා ගැනීමට අවශ්‍ය බවය.

ලයනල් සහ පාල දෙදෙනා බෑගය රැගෙන තම්බිගේ නිවසට යනවිට එහි සිටියේ ඔහුගේ මවය. “මෙයා ආවොත් මේ බෑග් එක දෙන්න” කියමින් තම්බිගේ මවට ලයනල් හඳුන්වා දුන් පාල, එම වැඩය ද අහවර කළේය. එකම ඉලක්‌කය සඳහා වෙහෙසෙන දෙදෙනා වෙනත් පාරවල් දෙකකින් පිටත්ව ගියහ. පාල යළිත් ගරාජය දෙසට යන අතරේ ලයනල් විජයගේ නිවස ඉදිරිපිට කුළියට ගත් ස්‌ථානයේ හිමිකරුගේ නිවස අසලට ගියේය. ඒ වන විටත් ටාසන් බයිසිකලයෙන් පැමිණ එහි රැඳී සිටියේය. මේ වන විට වේලාව දහවල් 11.30 පමණ වන්නට ඇත.

කඩයේ හිමිකරු එන තෙක්‌ පැය භාගයක්‌ පමණ දෙදෙනා එම ස්‌ථානයේ රැඳී සිටින විට, ඔවුන්ගේ බලාපොරොත්තුව එතැනට පැමිණියේය. ලබා තිබූ ජනප්‍රියතාවය හමුවේ රටේ කාටත්, විජය දැකීම සිය ජිවිතයේ අමතක නොවන සිදුවීමක්‌ විය. ඔහු බැලීම සදහා පමණක්‌, දින ගණන් කාලය වැය කර රසිකයන් ඔහු පැමිණෙනවා කියන ස්‌ථානවලට රැස්‌වීම සුලබ සිද්ධියක්‌ විය. මෙදින විජයගේ පැමිණීම අපේක්‌ෂාවෙන් දින, සති මාස ගණන් වෙහෙසී බලා සිටි ලයනල්ට, පාරේ එහා පැත්තට වන්නට, කාරයක්‌ තමාම එලවාගෙන විජය පැමිණෙනවා දකින්නට ලැබුණි.

වෙනදාට විජය දැකීම ඔහුගේ රසිකයන්ට ජීවිතයේ අමතක නොවන දිනයක්‌ වූවත් ලයනල් සහ ටාසන්ට විජය දකින්නට ලැබීම රටටම අමතක නොවන දිනයක්‌ බවට පත්වන්නට තිබුණේ තව විනාඩි කිහිපයක්‌ පමණය. ඉර මුදුන්වෙන යාමය, පරිස්‌සම් විය යුතු මොහොතක්‌ බව ගැමි විශ්වාසයකි. එවැනි වේලාවක තුවාලයක්‌ සිදුවුවත් ලේ නවත්වන්නට අමාරු බව ගැමියෝ කියති. මේ උදාවී ඇත්තේ එවන් වෙලාවකි. ලයනල් විසින් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට දෙන කට උත්තරයේ දී එම අවස්‌ථාව විස්‌තර කර තිබුණේ මෙසේය.

තමා පැමිණි රථය ගේ ඉදිරිපිට ඇති ගස අසල නවතන ලද විජය, ඉන් බැස නිවසට ගියේය. නිවසට ඇතුල්වන ගේට්‌ටුව ඉදිරියේ, සුදු ඩට්‌සන් ඩබල් කැබ් රථයක්‌ නතර කර තිබුණි.

“විජය කුමාරතුංග ආවා…”
ටාසන් විසින් ලයනල්ට පවසන විටත්, ලයනල් ඒ සියල්ල බලා සිටියේය.
“විඡේ දැන් ගෙදරින් ආයෙත් එළියට එනවා… එතකොට කරමුද…”
ලයනල්ගෙන් ටාසන් විමසා සිටියේය.

තුවක්‌කුව සහිත බෑගය ගෙන ඒම සහ එය දිගු වේලාවක්‌ බයිසිකලය තබාගෙන සිටීමේ අවදානම ලයනල් විසින් ටාසන්ගෙන් විමසුවේය. බෑගය ගෙනැවිත් එය බයිසිකලයේ තබා, බයිසිකලය කඩය ඇති වත්තට දමා ඉලක්‌කය එනතුරු සිටීම හොද බව ටාසන්ගේ අදහස විය.

බෑගය තබා තිබූ තම්බිගේ නිවසට ගිය දෙදෙනා එහි සිටි කාන්තාවගෙන් බෑගය ඉල්ලාගෙන බයිසිකලයට නැගුණි. තුවක්‌කුව තබන්නට කියූ නිවස හෙවත් සමන්තගේ නිවසට වෙත දෙදෙනා පැමිණියේ ඉතිරි වැඩ සඳහා ලැහැස්‌ති වීමටය. සමන්තගේ කාමරයට දෙදෙනා යන විට සමන්ත ද කාමරයේ විය. ලයනල් විසින් තුවක්‌කුව ඇඳ උඩින් තබා ලෝඩ් කිරීමට පටන් ගත්තේය. සමන්ත මේ සියල්ල දකිනා අතරේ ටාසන් පාරේ බයිසිකලයට වී සිටියේය.

කතාන්දරයේ උච්ච අවස්‌ථාව ලයනල් විසින් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට විස්‌තර කරමින් සිටින විට එහි අධ්‍යක්‌ෂක චන්ද්‍ර ජයවර්ධන විසින් ලයනල්ගෙන් අතුරු ප්‍රශ්නයක්‌ විමසුවේය.

ප්‍රශ්නය – මේ ගෙදර හිටපු පුද්ගලයා, ඔබ විජය කුමාරතුංගට වෙඩි තබන්න යන බව දැන සිටියාද…?
පිළිතුර – විජයට වෙඩි තබන්න යන බව, මා ඔහුට කිව්වේ නැහැ. ඔහු එය දැන සිටියා ද කියා මා දන්නේ නැහැ.
ප්‍රශ්නය – එදින විජය කුමාරතුංගට වෙඩි තබන්න යන බව පාල දැන සිටියාද…? ඔව්… පාල ඒ බව දැන සිටියා.

අතුරු ප්‍රශ්නවලට පිළිතුරු දුන් ලයනල් යළි කතාව කියන්නට පටන් ගත්තේය. අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ හමුවේ ලයනල් විසින් පවසන ලද ආකාරයටම ඒ මොහොත මෙසේය.

“අපි බෑගය රැගෙන බයිසිකල් එකේ කඩය ළඟට පැමිණියා. වත්තට මෝටර් සයිකලය දමා, බෑගය මෝටර් සයිකලයේ තබා අපි පාරට වී බලා සිටියා. විනාඩි පහක්‌ හෝ හයක්‌ පමණ පාරේ සිටින විට, විජය කුමාරතුංග නිවසින් එළියට එනවා අපි දැක්‌කා… ඔහු තනියම ඇවිත් නිවසේ ගේට්‌ටුව ළඟ සිටි කෙනෙක්‌ එක්‌ක කතා කළා. ඒ එක්‌කම හේරත් (ටාසන් වීරසිංහ) සහ මා, බයිසිකලයට නැග්ගා… මා බෑග් එක ඔඩොක්‌කුවේ තබාගෙන, සිප් එක ඇර, සේප්ටිය පහළට දැම්මා. තුවක්‌කුව අතේ තබාගෙන විජය කුමාරතුංග නැවති සිටි ස්‌ථානයට යාර 20ක්‌ පමණ දුරින්, පාර අයිනේ මෝටර් සයිකලය නැවැත්තුවා. විජය කුමාරතුංග සිටගෙන සිටියේ, ඔහුගේ නිවසේ ගේට්‌ටුව ඉදිරිපිටය. ඔහුගේ අතේ කොල දමා නවන ලද ෆයිල් එකක්‌ තිබුණා. ඔහු නැවතී එතැන සිටි අයෙක්‌ සමග කතා කරමින් සිටියා. මා බයිසිකලයේ සිට, ටී පනස්‌ හයේ රයිපලයෙන් විජය කුමාරතුංගගේ පිටට වෙඩි දෙකක්‌ තිබ්බා.

ඔහු මට පිටුපා සිටියා. එම වෙඩි පහරවල් දෙක තබන විට ඔහු වැටුණා. මා බයිසිකලයෙන් බිමට බැස එතැනට ගොස්‌ ඔහුගේ ඔලුවට වෙඩි කිහිපයක්‌ තිබ්බා. මා බැස එන විට විජය කුමාරතුංග සමඟ කතා කරමින් සිටි පුද්ගලයා ගෙට දුවන්නට වුණා. මා ඔහුට ද වෙඩි තිබ්බා. ඔහු ගෙට දිව්වා. පාර පැත්තේ ඩබල් කැබ් එක තිබුණා. එම ඩබල් කැබ් එක පිටුපස එක්‌කෙනෙක්‌ හිටියා. මා ඒ පැත්තට වෙඩි තිබ්බා. හේරත් මෝටර් සයිකලය හරවාගෙන කිරුලපන පැත්තට මුහුණ හරවාගෙන නවතා තිබුණා. මා විජය කුමාරතුංග ළග තිබුණු ෆයිල් එක අරන් එහි තිබෙන්නේ මොනවද කියා බැලුවා. එහි තිබී කොල වගයක්‌ වැටුණා. ඒ වෙනකොට තුවක්‌කුව දාගෙන ආපු බෑග් එක තිබ්බේ බිම වැටිලා. මම ෆයිල් එක බිම දාලා, බෑග් එක අහුලාගෙන තුවක්‌කුව බෑග් එකට දා ගෙන, මෝටර් සයිකලයට ගිහිල්ලා වාඩිවුණා. මෝටර් සයිකලය පොල්හේන්ගොඩ පාරේ ගියා.

එම අවස්‌ථාවේදී නාරාහේන්පිට පැත්තේ ඉඳලා බස්‌ එකක්‌ ආවා. අප, පොල්හේන්ගොඩ පාර දිගේ ගොස්‌, බයිසිකලය තියන්නට කියූ නිවසේ බයිසිකලය තැබුවා. හේරත් බයිසිකලයේ සිටියදී, මා තුවක්‌කුව තිබුණු බෑගය අරගෙන තුවක්‌කුව තියන්න කියූ නිවසට ගියා. පාල කලින් හඳුන්වාදුන් පුද්ගලයා එහි සිටියා. එම නිවසේ කාමරයකට ගොස්‌, පාල මට හඳුන්වාදුන් පුද්ගලයා ඉදිරියේ තුවක්‌කුව අන් ලෝඩ් කළා. ඒ වෙලාවේ මගේ ටීෂර්ට්‌ එකේ ලේ තියෙනවා දැක්‌කා.

ප්‍රශ්නය – ඔබගේ ටීෂර්ට්‌ එකට ලේ ආවේ කෙසේද…?

පිළිතුර – මා හිතන්නේ මම නැවි ෆයිල් එක ගන්න යන විට , ෆයිල් එකේ තිබ්බ ලේ ගෑවෙන්න ඇති. ඒත් ටීෂර්ට්‌ එකේ ලේ ගෑවුණේ කොහොමද කියලා මට හරියට හිතා ගන්න බැහැ.

මා තුවක්‌කුව බෑග් එක ඇතුළට දමා, ග්‍රෙනේඩය ද එයට දැම්මා. නිවසේ සිටි කෙනාට බෑග් එක දීලා එය අරන් තබන ලෙස කිව්වා. මගේ ටීෂර්ට්‌ එක ගලවා ඔහුගෙන් මම ෂර්ට්‌ එකක්‌ ඉල්ලා ගත්තා. ඒක සුදු පාට අත් දිග ෂර්ට්‌ එකක්‌… ටීෂර්ට්‌ එක පුච්චලා හෝ වෙන දෙයක්‌ කරලා දාන්න කියලා, මම කිව්වා. ඊට පසු මම හේරත් මෝටර් සයිකලය තබාගෙන සිටි නිවසට ගියා. මා යන විට එම නිවසේ ගේට්‌ටුව ඇරලා තිබ්බා. එහි මෝටර් සයිකලය තබා තිබුණා. තුවක්‌කුව තැබූ නිවස පිටුපසින් පාරක්‌ තිබුණා. මා සහ හේරත් එම පාර දිගේ පිළියන්දල බස්‌ යන පාරට ආවා.

අප දෙදෙනා පිළියන්දල යන බසයකට නැගී දයාසාන් ටේලර් සාප්පුවට පැමිණියා. සරත් එහි සිටියා. විජය කුමාරතුංගට මා වෙඩි තබන විට දවල් 12.30 ට පමණ ඇත. සවස හතරට පමණ අපි දයාසාන් ටේලර් සාප්පුවෙන් පිටත්ව දාම්පේ නිවසට පැමිණියා. එදා රාත්‍රී නවයට විතර අශෝකා ආවා. ඔහු පැමිණියේ තනිවම. මා සහ හේරත් විසින් අශෝකාට, විජය කුමාරතුංගට වෙඩි තැබූ බව කිව්වා. කට පරිස්‌සම් කර ගන්න කියා අශෝකා කිව්වා. එදා රෑ අශෝකා නැවතුණේ අප සිටි, නිවසෙයි.

ප්‍රශ්නය – ඔබ විජය කුමාරතුංගට වෙඩි තබන විට විජය ඇඳ සිටි ඇදුම් මොනවාද ?

පිළිතුර – ඔහු ඇඳ සිටියේ තද පාට කලිසමක්‌. පාට මතක නැහැ. කමිසයේ පාට මතකත් නැහැ. විජය කුමාරතුංග වැටී සිටින විට, ඔහුගේ ඔලුවට මා වෙඩි තබන අවස්‌ථාවේදී, ඔහුගේ ඔලුවේ බොරු කොණ්‌ඩයක්‌ තිබී ගැලවී වැටුණා.

ප්‍රශ්නය – ඔබ විජය කුමාරතුංගට වෙඩි තැබූ පසු, ඔහු ළඟට ගොස්‌ නැවත වෙඩි තැබුවේ ඇයි…?

පිළිතුර – මා සිතුවා විජය කුමාරතුංගට හරියට වෙඩි වැදුනේ නැහැ කියා. ඒ නිසා බයිසිකලයෙන් බැස, ඔහු ලගට ගොස්‌, වැටී සිටින විට නැවතත් වෙඩි තැබුවා.

ප්‍රශ්නය – ඔබ විජය කුමාරතුංගට වෙඩි තැබුවේ ඇයි…?

පිළිතුර – ජනතා විමුක්‌ති පෙරමුණේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් ලැබුණු නියෝගය නිසා.

විජය ඝාතනය තෙක්‌ ලයනල් රණසිංහ විසින් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට දෙන ලද සාක්‌ෂිය එසේය. විජය ඝාතනය ලයනල්ගේ අවසාන දේශපාලන ප්‍රහාරය නොවීය. විජය ඝාතනය පිළිබඳව සිදුකරන දේශපාලන පරීක්‌ෂණයකදී, ලයනල් පිළිබඳව ද හොදින් අවබෝධ කර ගත යුතු නිසා ඔහු විසින් සිදුකරන ලද අනෙකුත් දේශපාලන ඝාතන සහ ක්‍රියාකාරකම් ද සැකවින් හෝ දැන සිටිය යුතුය. ඒ සියල්ල උපුටා ගනු ලබන්නේ ලයනල් විසින් දෙන ලද සාක්‌ෂියෙනි.

1988 වසරේ මාර්තු මස මැද කාලයේදී ලයනල්, ටාසන් ඇතුළු විසි පස්‌ දෙනෙකුට පමණ සිරිපාද අඩවිය ආසන්නයේ වනගත කඳවුරකදී යළිත් අවි ආයුධ සහ මිලිටරි පුහුණුවක්‌ පක්‌ෂය විසින් ලබා දීමට කටයුතු කළේය. මේ කාලය වන විට අශෝකා, ජයන්ත ඇතුළු කණ්‌ඩායම දේශපාලන සාකච්ඡාවේ ප්‍රමුඛ මාතෘකා බවට පත් කර ගත්තේ පළාත් සභා ඡන්දය, හෝමාගම අතුරු මැතිවරණය වැනි දේය. එසේ වන අතරේ සන්නද්ධ ක්‍රියාන්විතය සඳහා අවශ්‍ය පුහුණුවීම් ආදිය දිගටම කරගෙන යැම ජවිපෙ අපේක්‌ෂාව වී තිබුණු බව, ලයනල් ඇතුලු විස්‌සක, තිහක පමණ පිරිසට ලබා දෙන පුහුණුවෙන් පෙනේ.

සමනල මුදුන තරණය කර සිරිපතුල වන්දනා කළ පිරිස, පුහුණුව සඳහා පැමිණ සිටියේ ගුවන් හමුදා සේවයේ යෙදී සිටි අයෙක්‌ බව ලයනල් අවබෝධ කර ගත්තේය. පුහුණුව අවසානයේදී කටුනායක ගුවන් හමුදා කඳවුරේ ආකෘතියක්‌ සාදා, එයට පහරදී යටත් කර ගන්නා ලෙස පිරිසට දන්වා සිටියේය. තුවක්‌කු වෙනුවට පොලු කැබලි යොදාගෙන කරන ලද එම පුහුණු ප්‍රහාරයේදී කඳවුර යටත් කර ගන්නට පිරිස සමත් විය.

පුහුණුව අවසන් වී යළි පැමිණීමෙන් පසු, අප්‍රේල් දෙවැනිදා රත්මලානේ බැසිල් ටේ්‍රඩින් සාප්පුව ලයනල් ඇතුළු පිරිස කොල්ල කෑවෝය. එහි තිබූ රෙදි, ඔරලෝසු, ගුවන් විදුලි යන්ත්‍ර, මුදල්, ඡායා පිටපත් යන්ත්‍ර, ආදිය කොල්ල කෑ දේ ඒ අතර විය.

හෝමාගම අතුරු මැතිවරණයට පෙර ලයනල් විසින් තවත් ඝාතනයක්‌ සිදුකළේය. අශෝකාගේ අණ පරිදි ඝාතනය කරන ලද එම පුද්ගලයා සේවය කරන ලද්දේ, කැස්‌බෑව ඩිස්‌පැන්සරියේ බෙහෙත් දෙන පුද්ගලයා ලෙසය. එසේම ඔහු කිරිවත්තුඩුව ග්‍රාමෝදය මණ්‌ඩලයේ සභාපතිවරයා ද විය. මෙම ඝාතනයෙන් පසුව එතෙක්‌ සිටි ගෙදර අත්හැර ගොරකපිටියේ කුකුල් ගොවිපොළක ලයනල් සහ ටාසන් නැවත්වීමට පක්‌ෂය කටයුතු යෙදවීය. කුකුල් ගොවිපළේ සිටියේ විජිත නම් අයෙකි. ලයනල්ට ඔහු මුලින්ම හමුවී තිබුණේ, 87 වසරේ ජුලි මාසයේදී පාලගේ ගරාජයේදීය.

ඉන් පසුව ලයනල් සහ තවත් පිරිසකට පක්‌ෂයෙන් කැඳවීමක්‌ ලැබෙන්නේ මහරගමට පැමිණෙන ලෙසය. එයින් පසු ජා ඇලට පිරිස රැගෙන ගියහ. ජාඇලදී කටුනායක ගුවන් හමුදා කඳවුරට පහර දෙන ලෙස උපදෙස්‌ ලැබිණි. ලයනල් ඇතුලු පිරිසක්‌ මේ ප්‍රහාරයට සහභාගී වූහ. ප්‍රහාරය එල්ල කළ ටික මොහොතකින් ලයනල් ටි පනස්‌ හයේ ගිනි අවියක්‌ සමඟ සටනට දායකවී, පසුව වෙනත් පොල් වත්තකට ඇතුල් විය. එම ස්‌ථානයේ තම ගිනි අවිය සගවා මහ පාරට පැමිණි ලයනල් මිනුවන්ගොඩ යන බසයක නැගී පසුව යළිත් තමා නැවති සිටි කුකුල් ගොවිපොළ වෙත පැමිණියේය.

ජවිපෙ විසින් හමුදා සහ පොලිස්‌ ගණනාවකට පහරදී අවි ලබාගැනීමේ ප්‍රහාර ගණනාවකටම ලයනල් ඉදිරි පෙළ ක්‍රියාකාරිකයෙකු වශයෙන් සහභාගි විය. එවැනි මෙහෙයුම් අතර නාගොඩ තල්ගස්‌වල හමුදා මුරපොළට 1987 සැප්තැම්බර් 28, කහවත්ත පොලිසියට 1987 දෙසැම්බර් 30, බම්බලපිටිය පොලිසියට 1989 ජනවාරි 25, පන්නල යුද අභ්‍යාස හමුදා කඳවුරට 1988 නොවැම්බර් 1, කටුනායක ගුවන් හමුදා කඳවුරට 1987 ජුනි 4වැනිදා සහ දෙවන ප්‍රහාරය 1988 අප්‍රේල් 22, හොරණ කුඹුකේ ග්‍රාමාරක්‌ෂක කඳවුරට 1988 ජනවාරි 8 වැනිදාද, පාදුක්‌ක පොලිසියට 1988 ඔක්‌තෝබර් 28 ප්‍රහාරයද ඒ අතර විය. මෙම ප්‍රහාරයන්හිදී ලයනල් ඇතුළු ජවිපෙ කැරළිකරුවන් විසින් එම කඳවුරුවල නවීනතම අවි පැහැරගැනීමට සමත් විය. වාද්දුව හමුදා කඳවුරට කඩාවැදී අවි ලබාගැනීම සඳහා ප්‍රහාරයක්‌ ලයනල්ගේද සහභාගිත්වයෙන් 1987 අගෝස්‌තු සිදුවූවද එය සාර්ථක නොවීය.

ජවිපෙ දේශපාලන සිරකරුවන් මුදා ගැනීම සඳහා 1988 දෙසැම්බර් 13 වැනිදා මැගසින් බන්ධනාගාරයට පිටතින් සහ ඇතුළතින් ප්‍රහාරය එල්ලකර ජවිපෙ රැඳවියන් 221ක්‌ මුදවා ගැනීමේදී ලයනල් වැදගත් මෙහෙයක්‌ ඉටුකළ බව ධර්මන් වික්‍රමරත්න විසින් ලියන ලද ජාතික විමුක්‌ති අරගලයකින් සමාජවාදය උදාකිරීමට “පෙතියෝ” 41ක්‌ මරාදැමූ ජවිපෙ කැරලිකරු මෙන්න යන ලිපියේ දැක්‌වේ.

පාමංකඩ හන්දියේදී එජාපයේ මහලේකම් නන්දලාල් ප්‍රනාන්දු වෙත වෙඩි තබන ලද්දේ ලයනල් විසිනි. එම ප්‍රහාරය සදහා අස්‌ගිරිය, සහ ටාසන් දායක වී තිබුණි. පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමට සිටි, මීගොඩ ආයුර්වේදය අසල පදිංචි වී සිටි ධර්මසේනගේ නිවසට මහ රෑ කඩා වැදුණු ලයනල් ඇතුළු පිරිස ධර්මසේන සහ එහි සිටි ග්‍රාමාරක්‌ෂක භටයන් ඇතුළු පිරිසකට වෙඩි තැබුහ. පසුදා තමන් නැවති සිටි කුකුළු ගොවිපොළට ගිය ලයනල් තමන් සහ පිරිස එල්ල කරන ලද ප්‍රහාරය පිළිබද විස්‌තර දැන ගත්තේ, අශෝකා විසින් රැගෙන ආ දිවයින පත්තරයෙන්ය. වෙඩි ප්‍රහාරයෙන් හයදෙනෙක්‌ මිය ගොස්‌ තිබුණත් ධර්මසේන තුවාල ලබා මරණයෙන් ගැලවී තිබුණි.

මෙසේ ලයනල්ගේ වෙඩි පහරට ලක්‌ව මරු වැළද ගත් පිරිස අතර අමාත්‍ය වීරසිංහ මල්ලිමාරච්චිගේ පුත්, කොළඹ නාගරික මන්ත්‍රී ජයන්ත මල්ලිමාරච්චි 1989 පෙබරවාරි 15 දා මට්‌ටක්‌කුලියේදීද, එජාප නාගරික මන්ත්‍රීවරුන් වූ ලෙස්‌ලී රණගල බොරැල්ලේදීද, ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ පොලිස්‌ නිලධාරින් කිහිපදෙනෙක්‌ , එජාප ජාතික සේවක සංගමයේ වරාය ඇතුළු ස්‌ථාන කිහිපයක ඉහළ පෙළේ නිලධාරින් තිදෙනෙක්‌, ඉන්දියාවේ මුල්පෙළේ ව්‍යාපාරිකයෝ දෙදෙනෙක්‌ ඇතුළු පිරිසක්‌ ද වූහ.

1989 මාර්තු 9 වැනිදා කොළඹ සරසවියේ උපකුලපති මහාචාර්ය ස්‌ටැන්ලි විඡේසුන්දර ඝාතනය කිරීමෙන් පසු පුංචි බොරැල්ලේ කපිලගේ නිවසට ගිය ලයනල් එදින රාත්‍රිය ගත කරන ලද්දේ එහිදීය. පසුව මාර්තු 14 වෙනිදා තවත් කටයුත්තක්‌ පිළිබඳව ඉදිරි සැලසුම් සදහා කතිකා කර ගැනීමට, ජයන්ත හෙවත් ලලිත් විඡේරත්න හමුවීම සඳහා පුංචි බොරැල්ල සඳහා පැමිණි ලයනල්, හමුව සඳහා තව වේලාව තිබෙන බැවින් බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව දෙසට ඇවිදගෙන යද්දී, සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස්‌ නිලධාරින් දෙදෙනෙකු තමන්ගෙන් ප්‍රශ්න කර අසල තිබූ ත්‍රිරෝද රථයක නංවාගෙන ගොස්‌ අත්අඩංගුවට ගත් බව ලයනල් විසින් අවසාන වශයෙන් ප්‍රකාශ කළේය. සිය සාක්‌ෂිය අවසානයේ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවෙන් ලයනල් කරන ලද ඉල්ලීම වූයේ තමාගේ මව බැලීමට අවශ්‍ය බවය.

මුලාශ්‍රය –

Source Link : Wishma Lokaya

හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටි පරදවමින් ඔහු කල වීර ක්‍රියාව හරියටම දන්නේ සුළු පිරිසකි

පරම වීර විභූශන පදක්කමෙන් පිදුම ලබන්නේ සිය ජීවිතයද නොසලකා වීරත්වය පුද කරනා රණ විරැවන්ටය.පරමවිර සම්මානය හිමි කර ගත්තවුන් අතරින් කෝප්‍රල් ගාමිනි කුලරත්නයන් ට හිමි වන්නේ සුවිශේෂ වූ ස්ථානයකි. අපි අද කියන්නට යන්නේ ඒ කතාවේ ඇත්ත ඇතුල් පැත්තයි

හසලක ගාමිණි නොහොත් ගාමිණි කුලරත්න වීරයා උපන්නේ 1966 සැප්තැම්බර් 4 වන දායි කුඩා කලම සිය පියා අහිමි වීම නිසා බොහෝ දුරට පවුලේ වගකීම ගාමිණි හට පැවරැනේය… කුඩාකල සිටම යුද්ධ හමුදාවට ඇලුම් කම් දැක්වූ ගාමිණි හමුදාවට එක්වන්නේ 1987 දීය.ඒ සිය මවගේ බලවත් විරෝධය අතරමැදයි… පුහුනුව අවසන් කිරීමෙන් අනතුරැව සෙබල ගාමිණි ශ්‍රී ලංකා යුධ හමුදා හය වන සිංහ රෙජිමේන්තුවට අනුයුක්ත වන ලදි.

සිය දක්ශතා තුලින් ලාන්ස් කෝප්‍රල් නිලය දක්වා උසස් වන ගාමිණි 1991 වසරේ සේවය කලේ අලිමංකඩ කදවුරේය. එකල මරැ කපොල්ලක් වූ අලිමංකඩට එල්ටීටී යෙන් වැඩි පුර එල්ල කලේ මෝටාර් ප්‍රහාරයි. අලිමංකඩ කදවුරේ රාජකාරි වල යේදීමට ගාමනීට සිදුවන්නේ සංඥා ක්‍රියාකරුවෙක්  ලෙසටය. ඒ ඔහු රෙජිමේන්තු මධ්‍යස්ථානයෙන් මාස තුනක සංඥා පුහුනුවක් හැදෑරු සෙබලෙකු වන නිසාය.

සිය රාජකාරි මෙහෙයවමින් සිටින අතරතුර 1991 ජූලි මස 14 වනදා උදයේ 3.30 ට පමණ ඔහුගේ යන්ත්‍රයට ආවේ අමුතුම ආකාරයේ පනිවිඩයකි. කෝප්‍රල් ගාමිණි හට ඒ හඩ කාගේ දැයි තේරැම් ගන්නට මහා කාලයක් නොගියේ ඒ වනවිට ඔහු ක්‍රියාන්විත රාජකාරියේ වසර පහක සේවා කාලයක් සපුරා තිබූ බැවිනි. වෙන කිසිවක් නොව ඒ එල්ටිටියේ පනිවිඩ යන්තූයකින් පිටවෙන පනිවිඩයකි. ගාමිණි මොහොතකට කන් දුන්නේය.. දමිළ භාෂාව මෙන්ම සංඥා භාෂාවද නිපුන කර තිබූ ගාමිනී කුලරත්නයන්ට මෙම පනිවිඩයේ හුවමාරැ වන සියල්ල මැනවින් වැටහුනේය.

කදවුරේ ඒ වන විට රාජකාරියේ සිටියේ බංකර රාජකාරි වල සිටි සෙබලුන් හා ගාමිණි පමනි. පනිවිඩයේ තරමටම සිදුවන විනාශයේ තරම දැනගත් ගාමිණි වහාම කදවුරේ සයිරන් නලාව හැඩවූවේ සිය සගයන්ට අනතුරක් ඉදිරියේ එන බව දන් වමිනය. එහෙත් පුදුමය වන්නේ ඒි වනවිට කදවුරේ අණ දෙන නිලධාරියා පමනක් නොව සැරනේ මේජර් වරයෙකු ඇරෙන්නට සියලු නිලධාරීන් බලසේනා මූලස්ථානයේ පැවති සාකච්චාවකට ගොස් තිබීමයි.

කෙසේ වෙතත් හසලක තමාගේ පිහියද එක් අත්බෝම්බයක් සමග කලබලය අතර මැද කදවුරේ සිට මීටර සියයක් පමණ ඉදිරියට අඩ අදුරේ ම ඇදෙන්නේ කාටත් කලියෙන් සතුරා මුනගැසීමේ බලාපොරොත්තුව පෙරදැරිවයි. ඈතින් හඩ නංවා ගෙන එන්නේ කිසිවක් නොව ඩෝසරයක් බව හසලකට එක මොහොතින් පැහැදිලි වේ.ඇසිල්ලකින් උසට වැඩුනු කොහොබ ගහට ගොඩ වන හසලක වීරයා සිය යෝධ සතුරා මැද්දට කඩා පැන්නේ සිය ආත්ම ශක්තිය කාහටත් නොපෙන්වාය.

සැනයෙන් ඩෝසරයේ කවුලුව ඇර ඇතුල් වූ ගාමිණිට දැකගත හැකිවූයේ අතකට මාංචු දැමු එල්ටීටී සෙබෙලෙකි. ගාමිණී දුටු විටම එල්ටිටී සාමාජිකයා කලබල වී රථය පුපුරවනා ලිවරය පහත් කිරීමටත් පෙර ක්‍රර්‍යාත්මක වූ ගාමිනී එක් පිහි පහරින් ඔහුගේ ගෙල කපා දැමුවේය. යුධ හමුදා සෙබලෙකු ලෙසට හසලකට ඩොසර් පැදවීම පිලිබද දැනුමක් නොතිබුනේය. ඔහු තම වෝකි ටොල්කි යන්ත්‍රය මගින් කටවහර භාෂාවෙන්ම මම ඩොසරේ ගත්තා ශූට් කරන්න එපා යැයි දැනුම් දුන්නත් එය අසන්නට ඒ අහලකවත් කිසිම සෙබලෙකු සිටියේ නැත. අලිමංකඩ සිට ආ මෙම පනිටිඩය ලැබුනේ කිසිම ක්‍රියාකරුවෙකු නොසිටි දෙවන සිංහ රේජිමෙන්තුවට පමනක්ම නොවේ. එය නුදුරින් පිහිටි පාබල හමුදා කදවුරකටද ඇසින.

එහෙත් ඔවුනටද මෙය වටහාගන්නට නොහැකි වුවත් කිසියම් අවදානමක ලකුනු පහල වූයේ සිංහ රෙජිමේන්තුවේ සංඥා මැදිරියෙන් පිලිතුරක් නැති නිසාය. පිලිතුරැ දෙන්නට හිටි ගාමිනී ඩොසරයක් තුල ඇතැයි කිසිවෙකුට සිතෙන්නට නැත. දැන් ඩොසරය ටිකෙන් ටික කදවුරේ නිලධාරී නිවස්නය වෙතට ලගා වෙයි..හතර වටින් සෙබලුන් වෙඩි තබයි. ඩොසරය තුල තිබූ වයර ටික එකවිටම කපා දැමූ ගාමිණි නැවත රේඩියොවට ගහන්න එපා ඩොසරේ මගේ අතේ යැයි හඩනැගුවත් පෙර මෙන්ම කිසිදු ප්‍රතිචාරයක් නොවීය.

එක විටම ටී පනස් හයට නොනැවතුනු යොදයා මහා හඩ නංවමින් කදවුරට ඔන්න මෙන්න තියා පිපිරී ගොස් යකඩ ගොඩක් බවට පත් වින.. ඒ චාලි කන්ඩායමේ කොප්‍රල් වරයෙකු RPG (රොකට් විදිනය) ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරැවයි.. අදද එම සලකුන ඩොසරයේ දකුනු පස ඇත.පහත රෑප වලද එය දක්වා ඇත.

කදවුරක් පුපුරවා ගැන්මට ආ ඩොසරය එහි ඇති බෝම්බ වලින් පිපිරැනේ නම් අද ඩොසරයේ කැබැල්ලක් වත් තිබිය නොහැකි බව ඔනෑ අයෙකුට හැගෙන සත්‍යකි. TNT නම් අධි බලති පුපුරණ ද්‍රව්‍ය පිරවූ ඩොසරයේ කුල්ල සැලසුම් කොට තිබුනේ අදාල ඉලක්කයේ ගැටුණු විට පිපිරවීමටයි. එහෙත් නොසිතූ ආකාරයකින් මෙය පුපුරාවියැයි එල්ටිටිය වත් නොසිතන්න ඇත. එහි ඇති පුපුරන දෘව්‍ය වලට අනිසි ලෙස තාපය ලැබීම නිසා මද පීඩනයකින් සියල්ල දැල්වී ගියේය.. දැල්වී ගියේ ඩොසරයක් පමනක් නොවෙි උදාර රණවීරයෙක් වූ කෝප්‍රල් ගාමිනී කුලරත්නයන් ද සිය සගයෙකුගේ ප්‍රහාරයකින් මරැ වැලද ගත්තේය.

සිය ජිවිතය නොව මවු බිම පලමු කොට ගත් මේ උදාර වූ වීරයා 1991 ජූලි 14 වනදා සිය මතෘ බූමියේ අයිතිය වෙනුවෙන් දිවි දුන්නේය එදා අනෙක් කදවුරෙ සංඥා සෙබලාට ගාමිනීගේ පනිවිඩය නොලැබුනා නම් අදටද ගාමිණී යනු අතුරැදන් සෙබලෙකි

මේ සිදුවීමෙන් පසුව වටින් ගොඩින් එන කරැනු අනුව යුධ හමුදාව තැති ගැනුනි..ඒ මෙය පාවා දිමක් නිසා සිදුවූවක් බවට තොරතුරැ ලැබීමත් සමගය.. එල්ටීටිය එම ඩොසරය ලබා ගෙන තිබුනේ එකල උතුරේ වාරිමාර්ග දෙපාර්තමෙන්තුවකින්ය..ඒ යටත් කරගත් ප්‍රදේශයකින්ය. මෙය කැටපිලර් වරගයේ චේන් ඩෝසරයකි.චෙන් ඩෝසරයක උපරිම වේගය පැකි 10ත් 15 ත් අතරය උපරිමය වේගයකි.එසේ නම් කිලෝමිටර ගනනාවක් දුර ඇති කොඩිකාමම් ප්‍රදේශයේ සිට මෙය එනතුරැත් නොපෙනුනේ මන්ද.

එය පමනක් නොව දවසේ කාර්ය භාර නිලධාරියා කදවුර තුල නොසිටියේ ඇයි.. මේ දෙකම අහබුවක් වන්නේ නම් ඒ ඉතාමත් පුදුමයකි..ඒ පිලිබදව අදටත් යුධ හමුදා පොලීසියේ වීමර්ශන ඒකකයේ වෙනම ගොනුවක් ඇත.. එහෙත් මේ වන විට එකී නඩුවේ විත්තුකරැවන් බොහො දෙනෙකු යුධ හමුදාව හැර ගොසිනි. අනෙක් අය සටනේදී මිය ගොසිනි.

රජයේ හමුදාවන්ට යලිත් අලිමංකඩ අහිමි වන්නේ ගාමිණි දිනාදුන් භුමිය පමනක් නොව ගාමිණිගේ ජීවිත පුදකිරීමද බිංදුවට බස්සවමින්ය.. ඒ යුදමය හේතුමත පමනක් නොව දේශපාලන වාසිත් මැදය. ඒ ලාංකීය අවස්ථාවාදී දේශපාලනයේ හැටිය. පසු ගිය මානුෂීය මෙහෙයුම සමයේ මෙම ඩොසරය යලිත් හමුදාව සතුවන්නේ හසලක වීරයා ගේ මතකය යලිත් අප වෙත ලගා කරමින්ය.

සැවොම සිතුවේ මෙය ත්‍රස්තවාදීන් විසින් විනාශකොට ඇතැයි කියාය.එහෙත් එය එසේ නොවීය. එල්ටීටිය එහි අමුතුම ආකාරයේ සටහනක් ද එල්ලා තිබුනි.. කඩම්පුලි වීරන් ත්‍යගරාජ් සෙලවන් යැයි එහි සටහන් කොට තිබුනේය…අත්අඩංගුවට ගත් කොටි නායකයෙක් පවසා තිබුනේ එය පුපුරවා ගැනීමට පැමිනි ත්‍යගරාජ් සංවිදානය මගින් මහා වීර පූජා නාමයෙන් පුදනු ලැබි වගක්ය.

ඔවුනට වීරයෙක් වූවේ ත්‍යාගරාජ් මිස ගාමිණි නොවේ ..අපට විරයෙක් වූවේ ගාමිණි මිස ත්‍යාගරාජ් නොවේ..එහෙත් වීරයන් දෙදෙනාම බිහිවුනේ එකම ඩෝසරයෙනි.. එකම බිමක දෙපැත්තකට වෙඩි තියාගත් යුද්ධයකිනි. එහි අදුරැ වලා තුලින් අම්මා වරැ දෙදෙනෙකුට පුතුන් දෙදෙනෙකුත්….. ජාතින් දෙකකට වීරයන් දෙදෙනෙකුත් අහිමි කරවූයේය. යලිත් මේ දෙරණ මත යුද්ධයක් ඇත් නොවේවා……

චරිත් ජනප්‍රිය – විශේෂ ස්තූතිය විශ්‍රාමික රෙජිමේන්තු සැරයන් මේජර් උපාලි ගමිලත් විරැවාට
මූලාශ්‍ර යුධ හමුදා මූලික පරීකශන

උපුටා ගැනීම – lankaevoice.com

Source Link : Wishma Lokaya